ගෙවුණු වසරේ හොඳම ස්මාට්ෆෝන්ස්

2021 වසර ඇරඹෙන මේ මොහොතේ දී ගෙවුණු 2020 වසර තුළ වෙළඳපොල හොල්ලන්නට සමත් වුණු, ඒ වගේම "හොඳම" කියන ලේබලය යොදන්නට පුලුවන් ස්මාට්ෆෝන්ස් කිහිපයක් ගැනයි අපි මේ කතා කරන්නේ.

ස්මාට්ෆෝන්ස් වෙළඳපොල කියන්නේ නව නිපැයුම් සමගින් දිනෙන් දිනම අලුත් වෙමින් පවතින ක්ෂේත්‍රයක්. මේ නිසාම වසංගත තත්ත්වයක් ලොවම වෙළාගෙන සිටින පසුබිමක දී පවා ගෙවුණු වසර ස්මාට්ෆෝන්ස් ක්ෂේත්‍රයට සිත් ඇදගන්නා සුළු උපාංග රැසක්ම එක් වුණු වසරක් බවට පත් වුණා. නැමෙනසුළු තිරයන්, 5G සබඳතා පහසුකම් සහිත විවිධ උපාංග මෙන්ම පෙරට සාපේක්ෂව වඩාත් දැරිය හැකි මිල යටතේ එළිදැක්වුණු උසස් මට්ටමේ ස්මාට්ෆෝන්ස් කිහිපයක්ම වෙළඳ පොළට නිකුත් වුණු වසරක් ලෙස 2020 හඳුන්වන්නට පුලුවන්.

කොහොම වුණත් Apple සහ Samsung සමාගම්වලට යටත් වුණු ස්මාට්ෆෝන්ස් වෙළඳපොලෙහි පාලනය නම් ගෙවුණු වසරේදීත් නොවෙනස්ව ඒ ආකාරයෙන්ම පැවතුණා. ගෙවුණු වසර තුළ එම සමාගම් දෙක නිකුත් කළ උසස්ම උපාංග හෙවත් Flagships ද්විත්වය වුණු iPhone 12 සහ Galaxy Note 20 යන ස්මාට්ෆෝන්ස් වර්ග දෙක ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණත්, OnePlus සහ Motarola වගේ සමාගම් ද ඉහළ ගුණාත්මකබවින් යුතු උපාංග නිකුත් කිරීමට සමත් වුණා. මේ නිසාම හොඳම ස්මාට්ෆෝන්ස් මිලට ගන්නට හොයපු අයට තෝරාගන්නට විකල්ප රැසක්ම වෙළඳපොල තුළ තිබුණු වසරක් තමයි 2020 කියන්නේ. මේ නිසාම ස්මාට්ෆෝන්ස් වෙළඳපොලෙහි වැඩි තරගකාරී බවක් ද දක්නට ලැබුණා.

2021 වසර ඇරඹෙන මේ මොහොතේ දී ගෙවුණු 2020 වසර තුළ වෙළඳපොල හොල්ලන්නට සමත් වුණු, ඒ වගේම “හොඳම” කියන ලේබලය යොදන්නට පුලුවන් ස්මාට්ෆෝන්ස් කිහිපයක් ගැනයි අපි මේ කතා කරන්නේ.

1. Apple iPhone 12 / iPhone 12 Pro

Image: Lukas Gehrer / pixabay

මේ වෙනකොට තාක්ෂණික වෙබ් අඩවි බහුතරය සිය ස්මාට්ෆෝන්ස් ලැයිස්තුවල ඉහළම ස්ථානය iPhone 12 සහ iPhone 12 Pro වෙතට ලබා දීලා තියෙනවා. iPhone 12 සඳහා යොදාගෙන තිබෙන A14 Bionic ප්‍රොසෙසර් එක බලසම්පන්න බවින් සහ වේගයෙන් අනූන වීම ඊට ප්‍රබල හේතුවක්. 5G සබඳතා හැකියාව ද සහිත මෙය නව iPhone පරම්පරාවක ආරම්භය ලෙස බොහෝ Apple හිතැත්තන් විසින් හඳුන්වා තිබෙනවා. එමෙන්ම පෙර  iPhone වලට වඩා මෙහි කැමරා පද්ධතිය විශේෂයෙන් වැඩිදියුණු කර තිබෙනවා. ඒ වගේම, මීට පෙර නිකුත්වුණු  iPhone වලට වඩා තැලීම්, වැටීම්, සීරීම් ආදියටත් හොඳින් ඔරොත්තු දෙන්නට iPhone 12 ෆෝන් එකට හොඳින් හැකියාව තියෙන බවයි මේක පාවිච්චි කරපු අය කියන්නේ.

කොහොම වුණත් මේ ෆෝන් එකේ තමන්ගෙ ඇඟිළි සළකුණ යොදාගෙන අන්ලොක් කරන්න පුලුවන් පහසුකම හෙවත් “ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර්” එකක් ලබා නොදීම, Apple සමාගමෙන් සිදුවුණු ලොකු අතපසු වීමක් බවට බොහෝ පාරිභොගිකයින් මැසිවිලි නගනවා.  Face ID තාක්ෂණය හෙවත් සිය සමාගම හඳුන්වා දුන්නු “මුහුණ හඳුණාගැනීමේ” තාක්ෂණය මගින් ෆෝන් එක අන්ලොක් කිරීමේ හැකියාව Apple සමාගම iPhone 12 වෙතට ලබා දී තිබුණත්, Covid-19 වසංගත තත්ත්වයත් සමග ලොව පුරා සෑම දෙනාම මුහුණු ආවරණ පැළඳ සිටීම හේතුවෙන් iPhone 12 භාවිත කරන්නන් බොහෝ සෙයින් අපහසුතාවට ලක්ව සිටින්නේ මුහුණු ආවරණ පැළඳ සිටියදී තමන්ගෙ ෆෝන් එක විසින් තම මුහුණ හඳුනා නොගැනීම නිසා.

2. Samsung Galaxy S20

Image: David Imel / Android Authority

ලොව හොඳම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක විදිහට මේවෙනකොට ලැයිස්තුගත වෙලා තියෙන්නේ Galaxy S20 ෆෝන් එක. ඒ වගේම Galaxy S20 ෆෝන් එක කියන්නේ  Apple  iPhone සමග තරග කරන්නට පුලුවන් හොඳම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක කියලාත් හඳුන්වන්න පුලුවන්. Samsung ෆෝන් එකකට මෙතෙක් භාවිත කරපු හොඳම තිරය, පෙර නිකුත්වුණ ෆෝන්වල තිබුණට වඩා බලසම්පන්න බැටරිය සහ අලුත් වුණ කැමරා පද්ධතිය Galaxy S20 ෆෝන් එකට විශේෂ වටිනාකමක් එක් කරලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකටත් 5G සබඳතා පහසුකම පවතිනවා. 120Hzක රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන නිසා ෆෝන් එකේ තිරයේ දර්ශනය වෙන දේවල් ගොඩක් සුමටයි.

3. Google Pixel 4A 5G / Pixel 5

Google සමාගම විසින් එළි දක්වපු  Pixel 4A 5G ස්මාට්ෆෝන් එක, 5G සබඳතාවය සහිත ෆෝන් වලින් හොඳම එකක් විදිහට නම් කරන්න පුලුවන්. හොඳ බැටරි ලයිෆ් එකක් වගේම මේකේ කැමරා පද්ධතියත් ඉහළ ගුණාත්මක බවින් යුතුයි. Google සමාගම විසින්ම නිර්මාණය කරපු ෆෝන් එකක් නිසා  Pixel 4A 5G එක්ක Google සොෆ්ට්වෙයාස්, ඇප්ස්, ගූගල් අප්ඩේට්ස් වගේ දේවල් කොයිතරම් හොඳින් වැඩකරනවද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ දෙයන් නෙවෙයි. Google සමාගමෙන්ම නිපදවුණු Pixel 5 ෆෝන් එකත් ගෙවුණු වසරෙදි එළිදැක්වුණු ස්මාට්ෆෝන්ස් අතර පෙරමුනේ පසුවෙන අතර  Pixel 5 ෆෝන් එකේ තියෙන තිරයෙහි 90Hzක රීෆ්‍රෙෂ් රේට් එකත් කැමරා පද්ධතියත් විශේෂයෙන් කැපී පෙනෙනවා. මිලත් සාපේක්ෂව ටිකක් අඩු වුණත් මේකේ Wireless Charging පහසුකම නොමැති වීම නම් තරමක අවාසියක් විදිහට දක්වන්නට පුලුවන්.

4. OnePlus 8

Image: pcmag.com

අනෙක් සමාගම් විසින් නිකුත් කරපු Flagship ස්මාට්ෆෝන්ස් එක්ක සසඳලා බලද්දි OnePlus සමාගම 2020 වසරේ තමන්ගේ  Flagship එකක් විදිහට නිකුත් කරපු OnePlus 8 ෆෝන් එක සාපේක්ෂව මිලෙන් අඩු වීම මේ ෆෝන් එක කෙරෙහි බොහෝ අයගෙ විශේෂ අවධානය යොමු වෙන්න හේතු වුණ කාරණාවක්. අනෙක් Flagships එක්ක බලද්දි මිලෙන් තරමක් අඩු වුණත් මේ ෆෝන් එකේ අඟල් 6.55ක AMOLED තිරයක්, 90Hzක රීෆ්‍රෙෂ් රේට් එකක්, ජලයට ඔරොත්තු දීමේ හැකියාව වගේම 5G සබඳතා හැකියාව ද පවතිනවා.

5. Motorola Edge Plus

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස්වල ආගමනයට කලින් මොබයිල් ෆෝන් ක්ෂේත්‍රයේ ඉහළින් වැජබුණු ‍Motorola සමාගම තමන්ගෙ Edge Plus ස්මාට්ෆෝන් එකෙන් නැවතත් කරළියට ඇවිත් තියෙනවා. මේ ෆෝන් එක මේ වෙනකොටත් තමන්ගේ ප්‍රියතම ෆෝන් එක විදිහට හඳුන්වන්න ජාත්‍යන්තර තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත පවා කටයුතු කර තිබීම ඊට නිදසුනක්. Premium 5G ස්මාට්ෆෝන් එකක තිබිය යුතු ගුණාංග සියල්ලකගෙන්ම පාහේ පිරුණු Motorola Edge Plus ෆෝන් එක වඩා ජවසම්පන්න බැටරියකින් යුක්තයි.

6. Apple iPhone SE 2020

Image: David Nield / New Atlas

අපේ ලැයිස්තුවේ පළමුවැනි තැන ගත්තු Apple සමාගමේම ෆෝන් එකක් වුණ Apple iPhone SE 2020 සංස්කරණය ගැනත් මේ ලැයිස්තුවෙදි කතා නොකරම බැහැ. විශේෂිතම කාරණාව වෙන්නේ මේ iPhone SE එක සාපේක්ෂව බොහෝ සෙයින් මිල අඩු වීම. iPhone 11 හි තියෙන A13 processor එකම සහිත iPhone SE ෆෝන් එක මිලට ගත්තු කෙනෙක් තමන් වැය කළ මිල ගැන කිසිසේත් පසුතැවිලි වෙන්නේ නැති වේවි.  2020 දි එළිදැක්ක හොඳම බජට් ෆෝන් එකක් විදිහටත් බොහෝ තාක්ෂණික වෙබ් අඩවි මේ Apple iPhone SE 2020 සංස්කරණය ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම පැරණි iPhone සංස්කරණයන්ගේ පෙනුමට සහ Feeling එකට කැමති අය මේ ෆෝන් එකට විශේෂ කැමැත්තක් දක්වන බවයි වාර්තා වන්නේ. ඒ වගේම ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න කැමති, ඒත් අතිශය අධික මිලක් වැය කරන්නට අපහසු අයටත් මේ Apple iPhone SE 2020 සංස්කරණය හොඳින් ගැලපෙනවා.

7. Google Pixel 4A

Image: POCKET-LINT

Google Pixel 4A 5G ගැන අපි කලින් කතා කළත් Google Pixel 4A ෆෝන් එකත් මේ ලැයිස්තුවට ඇතුලත් නොකරම බැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සාපේක්ෂව මේ ෆෝන් එක මිලෙන් අඩු වීම. Apple iPhone SE ෆෝන් එක වගේම මේ ෆෝන් එකටත් 2020 වසරේ හොඳම බජ්ට් ෆෝන් එකක් කියන තැන දෙන්න දෙපාරක් හිතන්න ඕනෙ නැහැ. 5G සබඳතාවය හෝ Wireless Charging නැති වුණත්, මේ ෆෝන් එක ගැන ගොඩක් අයගෙ අවධානය යොමු වෙලා තියෙන්නේ Google Pixel 4A කැමරා පද්ධතිය උසස් මට්ටමක පැවතීම.  ඒ වගේම මේ ෆෝන් එක ප්‍රමාණයෙනුත් තරමක් කුඩා නිසා භාවිතයටත් ඉතා පහසුයි.

8. Samsung Galaxy A51

මිල අඩු ගුණාත්මක බවින් උසස් ස්මාට්ෆෝන්ස් වර්ග ගැන කොපමණ කතා කළත් සමහර අයට Samsung ෆෝන් එකක් නැතුව බැහැ. අන්න ඒ වගේ අයට ගැලපෙන ෆෝන් එකක් තමයි Samsung Galaxy A51 කියන්නේ. සාපේක්ෂව මිලෙන් අඩු මේ ෆෝන් එක Galaxy S උපාංග මාලාව තරම් උසස් මට්ටමේ නොපැවතුණත්, අතිශයින් අධික මුදලක් වියදම් කරන්න අපහසු කෙනෙකුට ඉතා හොඳින් ගැලපෙනවා. කැමරා 4ක් සහ තිරය මතම පිහිටවපු ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එකක් මේ ෆෝන් එකට ඇතුලත්.

9. POCO X3

Image: BEN SIN / forbes

POCO කිව්වම අපිට වැඩිය පුරුදු නැති වුණත් හැමෝම දන්න Xiaomi සමාගම තමයි මේ ෆෝන් එක පිටුපස ඉන්නේ. සාපේක්ෂව මිල අඩු මේ ෆෝන් එකේ, උසස් මට්ටමේ ස්මාට්ෆෝන් එකක තියෙන්න ඕනෙ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් තියෙනවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. 120Hz ඩිස්ප්ලේ එකක්, බලසම්පන්න බැටරියක්, Snapdragon 732G ප්‍රොසෙසර් එකක් වගේම සාමාන්‍ය හොඳ මට්ටමේ කැමරා පද්ධතියක් මේ ෆෝන් එක සතුයි. ඒ වගේම Apple, Samsung වගේ දැවැන්ත සමාගම් නිකුත් කරපු Flagshipsවල ප්‍රමාණයට සමාන වෙන විදිහට මේ POCO X3 ෆෝන් එක නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වුණත් වෙළඳපොලෙහි තියෙන අනෙකුත් ස්මාට්ෆෝන්ස් වර්ග එක්ක සසඳලා බලන කොට POCO X3 එකේ ඩිස්ප්ලේ එක ටිකක් ගුණාත්මක බවින් අඩු බව නම් කිව යුතුයි.

10. Samsung Galaxy Note 20 Ultra

Image: James Martin / CNET

මේ ලැයිස්තුවේ දෙවැනි තැන ගත්තු ස්මාට්ෆෝන් එකේ හිමිකාර සමාගම වුණ Samsung සමාගමේ Galaxy Note 20 Ultra උපාංගය නම් සාපේක්ෂව බොහෝ සෙයින් මිලෙන් අධිකයි. ඒ වගේම මේ ෆෝන් එකට “හොඳම” කියන ලේබලය අලවන්න පුලුවන්ද කියන එකත් ටිකක් විවාදාත්මකයි. ඒත් විශේෂයෙන්ම රාජකාරී කටයුතු ආදියෙන් කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙකුට, නිතර නිතර Laptop එකක් දිගහැරගන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් කරගන්න Samsung Galaxy Note 20 Ultra ෆෝන් එක මග පාදනවා. විශාල තිරයක් වගේම ඒ ස්ක්‍රීන් එකේ ලියන්න, ටච් කරන්න පුලුවන් පෙන් එකක් තියෙන නිසා මේ ෆෝන් එකේ වැඩ කිරීම තවත් පහසු වනවා. ඒ වගේම මේ ෆෝන් එක බලසම්පන්න Snapdragon 865 Plus ප්‍රොසෙසර් එකකටත් හිමිකම් කියනවා. කොහොම වුණත් Galaxy Note 20 Ultra ෆෝන් එක Samsung සමාගම එයට නියම කරලා තියෙන මිල තරම් වටින්නේ නැති බව පවසන බොහෝ පිරිසකුත් ඉන්නවා.

✍️ හංස බමුණුගේ

error: Content is protected !!