විද්‍යාඥයින්ට හමු වූ ලොව අවලස්සනම ඕකිඩ් මල

පසුගිය දා සොයාගත් නව ඕකිඩ් විශේෂයක් වෙත උද්භිද විද්‍යා ලෝකයේ විශේෂ අවධානය යොමුව ඇත්තේ එහි පුෂ්පයේ ඇති අමුතු බව නිසා යි. මේ ලිපිය ඒ ගැනයි.

ඔබ ජීවිතයේ එක් වරක් හෝ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට ගොස් ඇත්නම් එහි ඇති ඕකිඩ් උයන ඔබව වශී කරවීමට සමත් වූවාට කිසිදු සැකයක් නැහැ. ඒ තරමට එහි ඇති විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුතු ඕකිඩ් මල් මනස්කාන්ත බවින් යුතුයි. සිංහල භාෂාවෙන් “උඩවැඩියා” ලෙස හඳුන්වන මේ අපූරු ශාකවලට විසිතුරු මල් වවන්නන් අතර ද සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ එම මල්වල ඇති සුන්දර බව නිසාම යි. මේ හේතුවෙන්ම ඇතැම් ඕකිඩ් වර්ගවලට ඉතා ඉහළ මිලක් නියමවන අවස්ථා ද නැතුවා නොවෙයි.

ලොව ඇති ඕකිඩ් විශේෂ ගණන කොපමණදැයි යන්න පැවසීම ලේසි පහසු කටයුත්තක් නොවන බව විද්‍යා ලොකයේ මතය වුවත්, මේවන විට උද්භිද විද්‍යාඥයින් විසින් හඳුණාගෙන ඇති ඕකිඩ් විශේෂ ගණන 28,000කටත් වඩා වැඩි බවයි වාර්තා වන්නේ. එමෙන්ම විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන්ම අලුත් ඕකිඩ් විශේෂ හඳුණාගනිමින් සිටිනවා. ජීව විද්‍යාඥයින් ගණන් බලා ඇති ආකාරයට ලොව ඇති ඕකිඩ් විශේෂ සංඛ්‍යාව, මිහිමත ජීවත්වන කුරුළු විශේෂ සියල්ලේම එකතුව මෙන් දෙගුණයක් පමණ වන බවත්, මිහිමත දිවිගෙවන ක්ෂීරපායීන් සියල්ලේම එකතුව මෙන් සිව් ගුණයක් වන බවත් සඳහන් වනවා. ඕකිඩ් ශාකයන් ලොව පුරා කොපමණ පැතිර තිබේද යන්නට එයට වඩා තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැති බව දැන් ඔබටත් පැහැදිළි කරුණක් බවට කිසිදු සැකයක් නැහැ.

ඉහත දී පැවසුවාක් මෙන්, උද්භිද විද්‍යාඥයින් නිරන්තරයෙන්ම නව ඕකිඩ් විශේෂ හඳුණා ගනිමින් සිටිනවා. ඒ අයුරින් පසුගිය දා සොයාගත් නව ඕකිඩ් විශේෂයක් වෙත උද්භිද විද්‍යා ලෝකයේ විශේෂ අවධානය යොමුව ඇත්තේ එහි පුෂ්පයේ ඇති අමුතු බව නිසා යි. ඕකිඩ් යනු සාමාන්‍යයෙන් සිත් ඇද ගන්නා සුළු බවින් යුතු වර්ණවත් මල් වර්ගයක් වුවත් මේ නව ඕකිඩ් විශේෂයට අයත් මලෙහි ඇති අමුතු බව නිසාම මේ නව සොයාගැනීම සිදු කළ විද්‍යාඥයින් කණ්ඩායම සිය නව ඕකිඩ් විශේෂය ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධියට පත් කළේ “ලොව අවලස්සනම ඕකිඩ් විශේෂය” යන සිරස්තලයෙන්.

Image credit: Rick Burian

මේ අලුත් ඕකිඩ් විශේෂය හමු වී තිබූයේ අප්‍රිකා මහාද්වීපයට අයත් මැඩගස්කර දූපතෙන්. නව ශාකය සොයාගත්තේ එක්සත් රාජධානියට අයත් සුප්‍රසිද්ධ “කිව් රාජකීය උද්භිද උද්‍යානයේ” උද්භිද විද්‍යාඥ ආචාර්ය ජොහාන් හර්මන්ස් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින්.

Gastrodia agnicellus නමින් විද්‍යාත්මක නාමකරණයට පත් වුණු මෙම ඕකිඩ් විශේෂයට තිබෙන්නේ, සිය පවුලෙහි අනෙක් සාමාජිකයින් සතුව පවතින ආකාරයේ වෛවර්ණ රටාවන්වලින් යුක්ත වූ පුෂ්පයක් නම් නොවෙයි. සාපේක්ෂව කුඩා පුෂ්පයක්වන මෙය දුඹුරු පැහැයෙන් යුක්තවන අතර මෙම ශාකයට පත්‍ර ද නොපවතින බව වාර්තා වනවා. එමෙන්ම මෙම ශාකය දිවි ගෙවන්නේ වනාන්තරයේ කොළරොඩු තට්ටුවටත් යටින් වීම විශේෂ කරුණක්.

G. agnicellus ශාකයේ පුෂ්පය ඇස් නැති පණුවෙකු ලෙස පෙනෙන බව බොහෝ දෙනෙකු පැවසුවත්, ශාකයේ මුලත් සමග පුෂ්පය දෙස බලද්දී ලොම් පිරුණු සත්ත්වයෙකු ලෙස තමන්ට පෙනෙන බව ආචාර්ය හර්මන්ස් පවසනවා. ශාකයේ විද්‍යාත්මක නාමයට “agnicellus” නමැති ලතින් වචනය යොදා ගැනීමට ද එය හේතු වී ඇති අතර එහි අරුත “කුඩා බැටළු පැටවා” යන්න යි.

පෙර සඳහන් කළ අයුරින් මෙම ශාකයට පත්‍ර නොමැති අතර හරිතප්‍රද අඩංගු සෛල ද පිහිටන්නේ නැහැ. මේ හේතුවෙන් අනෙක් ශාක මෙන් මෙයට හිරු එළිය උපයෝගී කරගෙන ප්‍රභාසංස්ලේශනය මගින් ආහාර නිපදවා ගැනීමට නොහැකියි. මේ නිසා G. agnicellus ශාකය ආහාර උරාගන්නේ තමන් ආශ්‍රිතව වැඩෙන දිලීරවලින් බවට යි විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ.

මෙම පුෂ්පයේ ඇති අමුතු පෙනුම හේතුවෙන් උද්භිද විද්‍යාඥයින් ප්‍රථමයෙන්ම උපකල්පනය කර ඇත්තේ එහි සුවඳ ද අමිහිරි එකක් වනු ඇති බවටයි. එහෙත් මෙම පුෂ්පයට ඉතා මිහිරි සුවඳක් පැවතීම ඔවුන් පුදුම කරවීමට සමත් වූ කරුණක් බව සඳහන්. මෙම පුෂ්පයෙන් වහනය වන්නේ රෝස සුවඳට සමාන සුවඳක් බවත්, උෂ්ණත්වය අධික දිනවල දී මෙම පුෂ්පය ඉතාමත් තීව්ර ලෙස එම සුවඳ නිකුත් කරන බවත් ආචාර්ය හර්මන්ස් සඳහන් කරනවා.

G. agnicellus යනු විද්‍යාත්මක ලෝකය ඉදිරියේ අලුත් ශාකයක් වුවත් මෙය මේවන විටත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා. ශාකයේ උපන්බිමවන මැඩගස්කරය තුළ වගා කටයුතු සඳහා කැළෑ ගිනිතැබීම් අධික වීම එයට හේතුව බව ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරනවා. කෙසේ වෙතත් 2020 වසරේ දී සොයාගත් නව ශාක විශේෂ අතුරින් සුවිශේෂිතම ශාක 10 අතරට Gastrodia agnicellus ශාකය ද ඇතුළත් කිරීමට මෙම සොයාගැනීමට මුල් වුණු එක්සත් රාජධානියේ කිව් රාජකීය උද්භිද උද්‍යානය කටයුතු කොට තිබෙනවා.

✍ සහන් පද්මසංඛ පීරිස්

error: Content is protected !!