2020ටත් වඩා 2021 තීරණාත්මකයි!

මානව ඉතිහාසය තුළ ලොව උණුසුම්ම වසර ලෙස මීට පෙර වාර්තාගත වී තිබුනේ 2016 වසර වුවත් නවතම පර්යේෂණ වාර්තාවලට අනුව ගත වූ 2020 වසර ද 2016 වසරෙහි වාර්තා වූ උෂ්ණත්වය හා සම තැන ගෙන තිබෙනවා. එමෙන්ම 2020 යනු යුරෝපා කලාපයෙහි වැඩිම උෂ්ණත්වය වාර්තා වූ වසර බවටයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම වාර්තා අනුව 2015 සහ එම වසරේ සිට ගතවූ වසර හයක කාලය මානව ඉතිහාසයේ වාර්තා වූ උණුසුමෙන් වැඩිම වසර හය ලෙසට යි ගණන් බලා ඇත්තේ. මෙම දත්ත ප්‍රසිද්ධ කර තිබූයේ “කොපර්නිකස්” පෘතුවි නිරීක්ෂණ වැඩසටහන මගින්. ගෝලීය උණුසුමෙහි ඉහළ අගයක් පිළිබඳව විද්‍යාඥයින් පූර්ව නිගමනවලට එළඹී සිටි නමුත් 2020 වසරේ දී එය මෙතරම් ඉහළ යාවි යැයි ඔවුන් බලාපොරොත්තු නොවූ බව යුරෝපීය පුවත් ආයතන පෙන්වා දෙනවා.

අධික ශීත කාලගුණයකින් හෙබි ප්‍රදේශ ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ආර්ටික් කලාප සහ සයිබීරියානු කලාප ආශ්‍රිතව ද සැළකිය යුතු ලෙසින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර මේ නිසා එම ප්‍රදේශවල පෙර නොදුටු ලැව් ගිනි තත්ත්ව පවා පසුගිය කාලයේ වාර්තා වුණා.  මේවන විට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව සයිබීරියා සහ අනෙකුත් ආර්ටික් කලාපවල උෂ්ණත්වය, එම කලාපයන්හී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 සිට 6 දක්වා අගයකින් වැඩි වී තිබෙනවා.

මෙලෙස ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාර්මික විප්ලවයෙන් පසුව සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායූන් පරිසරයට නිදහස් වීම අධික වීමයි. එක්සත් රාජධානියේ කාලගුණ කාර්යාලයේ විද්‍යාඥයින් පවසන පරිදි කාර්මික විප්ලවයට පෙර පෘතුවි වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා 50%කින් පමණ ඉහළ අගයක් මෙම වසරේ දී (2021) වාර්තා වීමට නියමිතයි. මේ නිසා ලෝකයේ සහ මිනිස් වර්ගයාගේ ඉදිරි පැවැත්ම කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන වසරක් ලෙස 2021 හැඳින්විය හැකියි.

Image: copernicus.eu

ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ලොව දස දෙසින් ලැව්ගිනි වාර්තාවන අතර එලෙස වනාන්තර දැවී යාමෙන් ද පරිසරයට තව දුරටත් විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිදහස්වනවා. එමෙන්ම වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා බැවින් “පෘතුවියේ පෙණහළු” ලෙස හඳුන්වන ඇමේසන්, කොංගෝ වැනි දැවැන්ත වනාන්තර පද්ධති මෙලෙස ලැව්ගිනි නිසා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යාම නිසා වැඩිවෙමින් පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය පාලනය කරගැනීම ද ගැටළුවක් වී තිබෙනවා.

Image: Sippakorn Yamkasikorn

ගෝලීය උණුසුම මෙලෙස ඉහළ යාම නිසා ඇතැම් පෙදෙස්වලට මේවන විට සුළි සුළං, කුණාටු, අසාමාන්‍ය ලෙස ඇදහැලෙන අධික වැසි, මුහුදු ඛාදනය වැනි ස්වභාවික විපත් වාර්තා වීම ඉතා ඉහළ ගොස් ඇති අතර ලොව ඇතැම් ප්‍රදේශ දැඩි නියං තත්ත්වවලින් පීඩා විඳිනවා. එමෙන්ම ද්‍රැව පෙදෙස්වල පවතින අයිස් තට්ටු දිය වී යාමෙන් පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමත් ගෝලීය උණුසුමෙහි භයානක ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකියි. මෙම තත්ත්ව යටතේ සරුසාරව තිබූ ප්‍රදේශ කාන්තාර බවට පත් වීමටත්, තවත් ප්‍රදේශ සාගරයෙන් යටවී යාමත් නිසා මිනිස් වර්ගයාට වාසස්ථාන අහිමිවනවා මෙන්ම ආහාර පිළිබඳ ගැටළුවක් ද අනාගතයේ දී පැණනගිනු ඇති.

එමෙන්ම පෘතුවියෙහි භූගත ජල මට්ටම ද වේගයෙන් පහළ යමින් පවතින අතර මේ හේතුවෙන් ඉන්දියාව වැනි රටවල්වලට දැඩි පානීය ජල හිඟයකට දැනටමත් මුහුණ දීමට සිදු වී තිබෙනවා. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල්වල ඇතැම් වගා පෙදෙස්වලට වසර ගණනාවකින් වැසි නොවැටී ඇති අතර මේ හේතුවෙන් ඔවුන් නළ ලිං මගින් භූගත ජලය සිය වගාවන්ට යෙදීම අරඹා ඇතත්, භූගත ජල මට්ටම ද පහළ යාම හේතුවෙන් ගොවීන් දැඩි අර්බුධයකට මුහුණ පා තිබෙනවා.

Image: cottonbro

මෙවන් තත්ත්වයක් මත මිනිස් වර්ගයා කාබන් විමෝචනය පාලනය නොකළ හොත් ගෝලීය වශයෙන් මාරාන්තික ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විද්‍යාඥයින් වසර කිහිපයක සිට අනතුරු අඟවනවා. ලෝකයටම බලපාන පරිදි වැඩිම කාබන් විමෝචනය සිදුකරන ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් මේ සඳහා පෙරමුණ ගත යුතුව ඇතත් එම රටවල්වල නායකයින් තවමත් ඒ සඳහා සැළකිය යුතු මැදිහත් වීමක් සිදු කොට නැහැ.

ලොව වැඩිම කාබන් විමෝචනයක් සිදු කෙරෙන රටවල් අතර චීනයට පමණක් දෙවැනිවන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැඩි පරිසර විරෝධී පිළිවෙතක් අනුගමනය කළ අතර ගෝලීය කාලගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් සිය රට ඉවත් කරගැනීමට ද ඔහු ක්‍රියා කළා. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ජෝ බයිඩන් සිය මැතිවරණ ව්‍යාපාරයේ දී පරිසර හිතකාමී අදහස්වලට විශේෂ තැනක් දී තිබුණා. එමෙන්ම පැරිස් සම්මුතියට යළි අත්සන් තැබීමට ද ඔහු සූදානම්වනවා.

✍ සහන් පද්මසංඛ පීරිස්

Sahan Peiris
Sahan is an award winning blogger (Nelum Yaya Blogger Awards-2015), a journalist and a web/graphic designer. He became a blogger in 2009 and began working as a journalist in 2015. Sahan studied computer science for his higher education and currently working as a freelancer.

More Articles

error: Content is protected !!