මේ කරුණු නොදැන නම් මාස්ක් දාන්න එපා!

මේ ලිපියෙන් අප ඔබේ අවධානය යොමු කරවන්නේ ෆේස් මාස්ක්ස් පැළඳීමේ දී අනිවාර්යයෙන් අවබෝධ කරගත යුතුම කරුණු කිහිපයක් ගැන.

අද වන විට ලොව සෑම පෙදෙසකම භාවිත කෙරෙන ඇඟළුමක් බවට මුව ආවරණ, එහෙමත් නැත්නම් සරළව කිව්වොත් ෆේස් මාස්ක්ස් පත් වී අවසන්. එන්තත් වර්ග කිහිපයක්ම ගෝලීය වශයෙන් භාවිතයේ පැවතුනත් පවතින වසංගත තත්ත්වය කවදා කෙලෙස නිම වෙයි ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි මොහොතකයි අප පසුවන්නේ. මේ හේතුවෙන් මාස්ක් පැළඳීම අපට තවත් සැළකිය යුතු කාලයක් යනතුරු අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක්වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අප මාස්ක් පැළඳිය යුත්තේ ලොවම වෙළාගෙන ඇති වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට මිස, එය නීතියෙන් අනිවාර්ය කොට තිබීම නිසා නම් නොවෙයි. මෙනිසාම අපි යම් අවබෝධයකින් යුතුව මාස්ක් පැළඳීම වැදගත් වනවා. මාස්ක් පැළඳීමේ දී සිදු කරන වැරදි පමණක් නොව, මාස්ක් ගැලවිය යුත්තේ කුමන වේලාවටද, ඒවා ඉවත දැමිය යුත්තේ කුමනාකාරයෙන් ද යනාදී කරුණු ගැනත් සිතා බැලීම වටිනවා. මේ ලිපියෙන් අප ඔබේ අවධානය යොමු කරවන්නේ ෆේස් මාස්ක්ස් පැළඳීමේ දී අනිවාර්යයෙන් අවබෝධ කරගත යුතුම කරුණු කිහිපයක් ගැන.

මාස්ක් එකක් දාගන්නේ ඇයි?

Image: benzoix (freepik)

අපි මාස්ක් එකක් පැළඳිය යුතු වන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් පදනම් කරගෙන යි. කොරෝනා වෛරසය ඔබේ සිරුරට ඇතුළු වීමේ අවධානම ඇති ප්‍රධානම ස්ථාන දෙක වන්නේ ඔබගේ නාසය හා මුඛයයි. එමෙන්ම ඒ අයුරින් ඔබේ සිරුරට වෛරසය ඇතුළු වීමේ අවධානම නිර්මාණය වන්නේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ නාසයෙන් හෝ මුඛයෙන් පිටවෙන බිඳිති සමග වෛරසය පරිසරයට නිකුත් වීමත් සමගයි. මාස්ක් පැළඳීමෙහි අරමුණ වන්නේ මෙම සිදුවීම් දෙකම පාලනය කිරීමයි.

එනම්,

පළමුවැන්න: නිරෝගී පුද්ගලයෙකුගේ සිරුර තුළට වෛරසය ඇතුළු වීමේ අවධානම අඩුවන සේ බාහිර පරිසරයත් – නාසය සහ මුඛයත් අතර බාධකයක් ඇති කිරීම.

දෙවැන්න: ආසාදිත පුද්ගලයෙකුගේ සිරුර තුළින් වෛරසය බාහිර පරිසරයට නිකුත් වීමේ අවධානම අඩුවන සේ බාහිර පරිසරයත් – නාසය සහ මුඛයත් අතර බාධකයක් ඇති කිරීම.

මේ අරමුණු දෙක කොතරම් වැදගත් ද යන්න පිළිබඳව මඳක් සිතා බැලුවොත්, අපි මාස්ක් එකක් පැළඳීම ජීවිත බේරා ගැනීම කෙරෙහි කොතරම් තීරණාත්මක ද යන්න තේරුම් ගැනීම අපහසු දෙයක් නොවෙයි.

මාස්ක් වර්ග

නීතියෙන් අනිවාර්ය කිරීමත් සමග මාස්ක් යනු පදික වේදිකාවේ පවා විකිණෙන භාණ්ඩයක් බවට පත් වෙලා. එමෙන්ම විවිධාකාරයේ මාස්ක් වර්ග වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ අළෙවි වෙනවා. කෙසේ වෙතත් තමන්ට ගැලපෙන මාස්ක් එකක් තෝරා ගැනීම විශේෂයෙන් වැදගත් වනවා. වෙළඳ පොලේ ඇති මාස්ක් ගැන අවධානය යොමු කළ විට වර්ග තුනක් ප්‍රධාන වශයෙන් හඳුණා ගන්නට පුලුවන්.

1. මෙඩිකල් මාස්ක්ස්
2. රෙස්පරේටර් මාස්ක්ස්
3. ෆැබ්‍රික් මාස්ක්ස්

මෙඩිකල් මාස්ක්ස් ගණයට වැටෙන්නේ අපි සාමාන්‍යයෙන් සර්ඡිකල් මාස්ක්ස් ලෙස හඳුන්වන ඒවා වැනි මාස්ක් වර්ග. එමෙන්ම N95 සහ KN95 ආදී නම්වලින් හැඳින්වෙන්නේ රෙස්පරේටර් වර්ග යි. මේවාත් ඇතැම් අවස්ථාවන්හි “මෙඩිකල් මාස්ක්” ගණයට ඇතුළත් කෙරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නියම කරලා තියෙන විදිහට මෙඩිකල් මාස්ක් සහ රෙස්පරේටර් පැළඳිය යුත්තේ සෞඛ්‍ය අංශ, කොවිඩ් 19 ආසාදිතයින් සහ ආසාදිතයින් සමග ඍජුව සබඳතා පවත්වන අංශ යි. කොහොම වුණත් හැකියාවක් ඇත්නම් සාමාන්‍ය ජනතාවත් මෙඩිකල් මාස්ක්ස් සහ රෙස්පරේටර් පැළඳීමේ වරදක් නැහැ. එහෙත් රෙස්පරේටර් වැනි වර්ගවල මිල ගණන් ද සාපේක්ෂව ටිකක් අධිකයි. ඒ වගේම නැවත නැවත භාවිත කිරීමේ හැකියාව ද මෙඩිකල් මාස්ක්වල සහ රෙස්පරේටර්වල අඩුයි.


ෆැබ්‍රික් මාස්ක්ස් යනුවෙන් හඳුන්වන්නේ රෙදි භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති අප බොහෝ දෙනා භාවිත කරන සාමාන්‍ය මාස්ක් වර්ග. කෙසේ වෙතත් නිවැරදිව මැසූ ෆැබ්‍රික් මාස්ක් එකක ලේයර්ස් (ස්ථර) තුනක් තිබිය යුතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එය තවදුරටත් විස්තර කළ හොත් නියමිත පරිදි මසන ලද ෆැබ්‍රික් මාස්ක් එකක පිට පැත්තේ ලේයර් එක ජලය උරා නොගන්නා පොලිඑස්ටර් වැනි කෘතිම රෙද්දකින් ද, ඇතුළු පැත්තේ ලේයර් එක ජලය උරාගන්නා කපු වැනි රෙද්දකින්ද සමන්විය යුතුවන බවයි එම සංවිධානය නියම කොට තිබෙන්නේ. එම ලේයර්ස් දෙක මැද තිබිය යුත්තේ පෙරහනක් සේ ක්‍රියා කරන පොලිප්‍රොපලීන් වැනි රෙද්දක්. ඇතැම් ෆැබ්‍රික් මාස්ක්වල ඇතුළු සහ පිටත ලේයර්ස් පමණක් පිහිටන අතර මැද ලේයර් එකට පෙරහන් රෙදි කැබැල්ලක් ඇතුළු කරන්නට හැකිවන පරිදි සාක්කුවක් සේ සකසා ඇති අයුරු දක්නට හැකියි.

පදික වේදිකා වැනි ස්ථානවල දී බොහෝ විට ඉහත නිර්නායක ඇතුලත් මාස්ක් එකක් ඔබට සොයාගත නොහැකි වන්නට පුලුවන්. එහෙත් මේවන විට නියමිත පරිදි සැකසූ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ෆැබ්‍රික් මාස්ක් වර්ග අඩු මිල ගණන් යටතේ වෙළඳ පොලේ බහුල ලෙස පවතිනවා.

ගැලපෙන මාස්ක් එකක් තෝරාගන්නේ කොහොමද?

එක එක හැඩයෙන්, එක එක විශාලත්වයෙන් මාස්ක් වර්ග වෙළඳ පොලේ තිබුණත්, මෙය තමන්ගේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් බේරාගැනීමට පළඳින ඇඟලුමක් නිසා තමන්ට හොඳින්ම ගැලපෙන මාස්ක් එකක් තෝරා ගැනීම අනිවාර්යයෙන් සැළකිලිමත්ව කළ යුතු දෙයක්. විශේෂයෙන් මුහුණේ හැඩය සහ විශාලත්වයට අනුව එක් එක් පුද්ගලයාට ගැලපෙන මාස්ක් වල හැඩය සහ විශාලත්වය වෙනස්වනවා. මේ නිසා තමන්ගේ මුහුණට හොඳින් ගැලපෙන්නට මාස්ක් එක තෝරාගන්න වගබලාගත යුතුයි.

Image: Febin Paul

තමන්ගේ මුහුණේ විශාලත්වයට සාපේක්ෂව කුඩා මාස්ක් එකක් භාවිත කරන අය මෙන්ම මුහුණට වඩා විශාල මාස්ක් එකක් භාවිත කරන අයත් අපට නිතර මග තොටේදී දක්නට ලැබෙනවා. එලෙස මාස්ක් භාවිත කිරීම මගින් අපි මාස්ක් එකකින් බලාපොරොත්තුවන අරමුණ කිසිසේත්ම ඉටුවන්නේ නැහැ. කුඩා මාස්ක් එකක් පැළඳීමෙන් තමන්ගේ නාසය සහ මුඛය සම්පූර්ණ ලෙස ආවරණය නොවනවා වගේම විශාල මාස්ක් පැළඳීමෙන් මාස්ක් එකත් මුහුණත් අතර හිස් ඉඩකඩ නිර්මාණය වනවා. මේ දෙකෙන්ම වන්නේ බාහිර පරිසරයේ ඇති වෛරස තමන්ගේ සිරුර තුළට ගමන් කිරීමටත්, තමන්ගේ සිරුර තුළ වෛරස ඇත්නම් ඒවා බාහිර පරිසරයට නිකුත් කිරීමටත් මග පෑදීම. මේ නිසා වෙළඳ පොලෙන් ඇඳුමක් තෝරාගද්දී තමන්ගේ සිරුරට ගැලපෙන්නට එය තෝරාගත යුතු අයුරින්ම මාස්ක් එකක් ද තෝරාගත යුත්තේ තමන්ගේ මුහුණට ගැලපෙන්නට යි.

එහෙත් ඇඳුම් තෝරාගන්නා ආකාරයෙන් වෙළඳපොලේ දී එක් එක් මාස්ක් පළඳා බලා වඩාත්ම ගැලපෙන මාස්ක් වර්ගය තෝරාගැනීම නම් කිසිසේත් නොකළ යුත්තක්. එයින් වන්නේ තමනුත් අනෙක් අයත් ආසාදනය වීමට උදව්වක් පමණයි. මේවන විට වෙළඳපොලේ ඇති තත්ත්වයෙන් උසස් බොහෝ ෆැබ්‍රික් මාස්ක් වර්ගවල කවරයේ එම මාස්ක් එකට අදාළ විශාලත්වය ‘ස්මෝල්, මීඩියම්, ලාජ්’ ලෙස සඳහන් කොට තිබෙනවා. ඒ අනුව ඔබට ඔබේ මුහුණට ගැලපෙන මාස්ක් එක තෝරාගන්නට පුලුවන්.

එමෙන්ම නාසයට ඉහළ කොටස තද කොට තමන්ගේ මුහුණේ හැඩයට අනුව සිර කර සකසා ගත හැකි ආකාරයේ නැමෙන සුලු කම්බියක් ඇතුලත් කොට ඇති මාස්ක් එකක් තෝරාගැනීම ද වැදගත් වනවා.

වෑල් එක හොඳ ද නරක ද?

KN95 වැනි රෙස්පරේටර් මාස්ක් වර්ගවල ඇතැම් ඒවායේ ඉදිරියට නෙරා ඇති වෑල් (valve) එකක් ඇති බව ඔබ දැක ඇති. ඇතැමුන් ෆිල්ටර් එක ලෙස හඳුන්වන්නෙත් මේ වෑල් එකම තමයි. වෑල් එකක් නොමැති මාස්ක් එකකට වඩා වෑල් එකක් ඇති මාස්ක් එකක් භාවිත කිරීම වඩාත් සුදුසු බව යි බොහෝ දෙනා සිතන්නේ. එහෙත් සත්‍යය එය නොවෙයි.

මාස්ක් එකක ඇති මෙම වෑල් එකෙන් අවහිර කරන්නේ එක් දිශාවකට වාතය ගමනාගමනය කිරීම පමණයි. එනම් ආශ්වාසයේ දී බාහිර පරිසරයේ සිට මාස්ක් එක තුළට වාතය පැමිණීම මෙම වෑල් එක හරහා සිදු නොවන නමුත් ප්‍රශ්වාසයේ දී මාස්ක් එක තුළ ඇති වාතය කිසිදු පෙරහනකින් තොරව බාහිර පරිසරයට නිදහස් වීම මෙ⁣හි දී සිදුවනවා.

එය ඇත්තෙන්ම මාස්ක් එක පැළඳගෙන පෙණහළු තුළට ගන්නා හුස්ම මාස්ක් එක ගලවා පිට කිරීමට සමානයි. මේ නිසා වෑල් එකක් සහිත රෙස්පරේටර් මාස්ක් වර්ග පරිහරණය පොදු ජනතාවට තහනම් කිරීමටත් ඇතැම් රටවල් මේවන විටත් ක්‍රියා කර තිබෙනවා.

ආසාදිතයෙකු මෙවැනි මාස්ක් එකක් පැළඳ සිටියහොත් ඔ⁣හුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිඳිති හරහා වෛරසය බාහිර පරිසරයට මුදා හැරෙන නිසා වෑල් එක සහිත මාස්ක් පැළදීමෙන් වැළකීම ඉතා වැදගත් වනවා.

කඩෙන් ගත්තු ගමන් මාස්ක් එක දානවාද?

Image: Maksim Goncharenok

මා ඔබට පෙර පැවසුවාක් මෙන් මාස්ක් වෙළඳපොළ පදික වේදිකාවට පවා පැමිණ තිබෙනවා.  මෙලෙස වෙළඳපොලේ ඇති මාස්ක් අතර මනා විෂබීජ රහිත තත්ත්වයක දී සකසා ඇසුරුම් කරන ලද මාස්ක් මෙන්ම සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ මසන ලද මාස්ක් ද තිබෙනවා. මේ වර්ග දෙකෙන් දෙවැන්න, එනම් සාමාන්‍ය පරිසරයක දී මසා ඇසුරුම් කරන ලද මාස්ක් එකක් මිලට ගෙන ක්ෂණිකව පැළඳීම කිසිසේත් සුදුසු දෙයක් නොවෙයි. මන්ද, එවැනි මාස්ක්වලට භාවිත කරන රෙදි වර්ග පෙර සෝදා නැති නිසා බැක්ටීරියා සහ වෛරස මෙන්ම වෙනත් අහිතකර අංශු ද අන්තර්ගත විය හැකියි.

එමෙන්ම එම මාස්ක් මැසීමේ දී නිෂ්පාදන ක්‍රියාවලියට දායකවන පුද්ගලයින් ද ඇතැම් විට ආරක්ෂක අත් වැසුම්, මුව ආවරණ යනාදිය පැළඳ නොසිටින්නට පුලුවන්. තව ද ඇසුරුම් ක්‍රියාවලියේ දී ද ඇසුරුමට භාවිත කරන පොලිතීන් යනාදිය ද විෂබීජහරණයට ලක් කොට නොමැති නිසා එයින් ද ඔබේ සිරුර තුළට අයහපත් දෑ ඇතුළුවිය හැකියි. ඇතැම් මාස්ක් වර්ග වෙළඳ පොලෙහි විකිණීමට තබා ඇත්තේ ද බාහිර පරිසරයට නිරාවරණය වන පරිදිවන අතර ඇතැම් අසුරන සම්පූර්ණයෙන්ම වැසී නැති බැවින් බාහිර පරිසරයේ ඇති අයහපත් ද්‍රව්‍යයන් මාස්ක් එක මත තැවරීම සිදුවනවා.

එම නිසා නියමිත තත්ත්ව යටතේ උසස් ගුණාත්මකභාවයකින් තොරව සකසා ඇසුරුම් කළ මාස්ක් එකක් මිලට ගතහොත් එම අවස්ථාවේදීම එය පැළඳීම නොකළ යුතු අතර එය හොඳින් සබන් යොදා සෝදා වියලා ගැනීමෙන් අනතුරුව භාවිතයට ගැනීමට වගබලාගත යුතුයි. මාස්ක් එක සබන් යොදා සේදීමෙන් අනතුරුව නටන උණු ජලයෙන් තම්බාගන්නටත් පුලුවන් නම් තවත් සුදුසුයි. හැකියාවක් ඇත්නම් සෝදා වේළාගත් මාස්ක් එකට අයිසොප්‍රොපයිල් මධ්‍යසාර වැනි විෂබීජ නාශකයක් ඉස වියලෙන්නට හැරීමෙන් ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට ඔබට පුළුවන්. එහෙත් දෑත් විෂබීජහරණය කිරීමට යොදාගන්නා දියර හෝ වෙනත් සුවඳකාරක/වර්ණකාරක ආදිය මුසු කළ දියර මාස්ක් එකට ඉසීමෙන් වැළකීමටත් වගබලාගන්න.

මාස්ක් එක හරියට දාගමු!

පැළඳීමට පෙර මාස්ක් එකට හානි වී ඇත්දැයි හොඳින් පරීක්ෂා කර බැලීම බොහෝ සෙයින් වැදගත්වනවා. සේදීමේ දී හෝ පෙර අවස්ථාවේ පැළඳීමේ දී මාස්ක් එකට මඳක් හෝ හානි වී ඇත්නම් එය පැළඳීම සුදුසු නැහැ.

එමෙන්ම මාස්ක් එකක් පැළඳීම පිණිස එය අතට ගැනීමට පෙර ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදා ගැනීම හෝ විෂබීජ නාශක දියරයකින් හොඳින් පිරිසිදු කර ගැනීම කළ යුතුයි. ඉන් අනතුරුව මාස්ක් එක ඇල්ලිය යුත්තේ කන්වලට සවිවීම පිණිස එහි දෙපස ඇති පටි දෙකෙන්. විශේෂයෙන්ම මාස්ක් එකේ ඇතුළු පස කොටස ඇල්ලීමෙන් වැලකීම වැදගත් වනවා.

මාස්ක් එකක් පැළඳිය යුත්තේ එය නීතියෙන් අනිවාර්ය කර ඇති නිසා නොවන බව මා මීට පෙරත් ඔබට පැවසුවා. මාස්ක් එකක් පැළඳ සිටියත් එය වැරදි ආකාරයෙන් පළඳින්නේ නම් මාස්ක් එකකින් බලාපොරොත්තුවන අරමුණ ඉටු නොවන නිසා එය පැළඳීමෙන් ද පලක් වන්නේ නැහැ. මේ නිසා නිවැරදි ආකාරයෙන් මාස්ක් එකක් පැළඳීම අතිශය වැදගත්.

මාස්ක් එකක් පැළඳීමේ දී විශේෂයෙන් සැළකිය යුතු වන්නේ මාස්ක් එකත් මුහුණත් අතර ඉඩකඩ පවතී ද යන්න පිළිබඳවයි. එලෙස ඉඩකඩ නිර්මාණය වන්නේ නම් බාහිර පරිසරයේ පවතින වෛරස ඇතුලු අහිතකර අංශු මුඛය සහ නාසය තුළට ඇතුළු වීම වලක්වන්නට බැහැ. මේ නිසා තම මාස්ක් එක හොඳින් මුහුණ වටා සිරවන පරිදි පැළඳීම අනිවාර්යයයෙන් වැදගත් වනවා.  එමෙන්ම නාසයට ඉහලින් සිරවන සේ තද කළ හැකි කම්බි කොටස හොඳින් තද කොට පැළඳීමත් සිදු කළ යුතුයි.

මාස්ක් එක මුඛය පමණක් වැසෙන සේ පැළඳීම බොහෝ දෙනා සිදු කරන වැරැද්දක්. එලෙස මාස්ක් එකක් පැළඳීම, මාස්ක් නොපැළඳීමටත් වඩා අනතුරුදායක වන්නේ නාසයට පහළින් ඇති මාස්ක් එක මත රැඳී ඇති වෛරස, අහිතකර අංශු ආදිය පවා නාසයෙන් ශරීරගත විය හැකි නිසා. එම නිසා නාසය සහ මුඛය යන දෙකම හොඳින් වැසෙන සේ මාස්ක් එක පැළඳීමට වගබලාගත යුතුයි.

Image: freepik

මාස්ක් එක දාගෙනම ඉන්න ඕනෙද?

Image: freepik

මාස්ක් එකක් පැළඳීමෙන් පසු එය විටින් විට ගැලවීම සුදුසු දෙයක් නොවෙයි. එලෙස සිදු කිරීමෙන් මාස්ක් එකේ පිටත පෘෂ්ඨයේ තැවරී ඇති වෛරස, ඔබේ අතෙහි තැවරී ඇති වෛරස හෝ පරිසරයේ පවතින වෛරස සහ වෙනත් අහිතකර දෑ මාස්ක් එකේ ඇතුළු පැත්තෙහි තැවරීමට ඉඩකඩ තිබෙනවා. එමෙන්ම මාස්ක් එක ගලවා එක එක තැන්වල තබන්නත් එපා. යම් තැනක මාස්ක් එක තැබීමෙන් එම ස්ථානයේ වෛරස ඇත්නම් ඒවා මාස්ක් එකේ තැවරෙනවා මෙන්ම මාස්ක් එකේ වෛරස ඇත්නම් ඒවා මාස්ක් එක තැබූ ස්ථානයේ තැවරීම ද සිදුවනවා. එහෙයින් මාස්ක් එකක් පැළඳීම සහ එය ගැලවීම එක් වරක් පමණක් සිදු කිරීමට උත්සහ ගන්න.

Image: freepik

උදාහරණයක් ලෙස ඔබ නිවසේ සිට වෙළඳපොළට යන්නේ යැයි සිතන්න. නිවසෙන් පිටත් වීමට පෙර පළඳන මාස්ක් එක ඔබ ගැලවිය යුත්තේ යළි නිවසට පැමිණීමෙන් පසුවයි. ඒ අතරවාරයේ විවිධ වේලාවල්වල දී මාස්ක් එක විටින් විට ගැලවීම නොකළ යුතුයි. එමෙන්ම බොහෝ දෙනා කතා කිරීමේ දී පවා මාස්ක් එක ගලවන අයුරු දක්නට ලැබෙනවා. එසේත් නැත්නම් එය පහත් කොට නිකටෙහි රඳවා කතා කරන අයුරු දක්නට ලැබෙනවා. එය ද කිසිසේත් නොකළ යුතු කටයුත්තක්.

එමෙන්ම මේවන විට බොහෝ දෙනා ෆේස් ශීල්ඩ්ස් භාවිත කරනවා. ෆේස් ශීල්ඩ් එකක් පැළඳ සිටිය දී මාස්ක් එකක් පැළඳීම අවශ්‍ය නොවන බව බොහෝ දෙනා සිතුවත් එය සත්‍යයක් නොවන අතර ශීල්ඩ් එක පැළඳිය යුත්තේ ද මාස්ක් එක පැළඳ සිටින අතරතුර දී මයි.

ඇල්ලුවාට කමක් නැද්ද?

මාස්ක් එකක් පැළඳ සිටියදී පමණක් නොවෙයි, සාමාන්‍ය පරිදි සිටියදී පවා අපි නොදැනුවත්වම අපේ මුහුණ ප්‍රදේශය නිතර අතගෑම සිදු කරනවා. මෙවැනි වසංගත කාලයක දී එයින් වැලකී සිටීම බොහෝ සෙයින් වැදගත්. පැළඳ සිටින මාස්ක් එක ඇල්ලීම මගින් මාස්ක් එකේ පිටත පෘෂ්ඨයේ වෛරස රැඳී ඇත්නම් ඒවා අතෙහි තැවරෙනවා මෙන්ම, අතෙහි වෛරස තැවරී ඇත්නම් ඒවා මාස්ක් එකෙහි තැවරීමටත් ඉඩ කඩ තිබෙනවා. මේ නිසා වැරදීමකින් මාස්ක් එක ඇල්ලීම සිදු කළ හොත් දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කර ගැනීම සුදුසුයි.

කිවිසුම් යද්දී මොකද කරන්නේ?

Image: jcomp/freepik

කිවිසුමක් යද්දී හෝ කැස්සක දී පැළඳ සිටින මාස්ක් එක ගලවා එය සිදු කරන පුද්ගලයින් පාරේ තොටේ ගමන් කරද්දී ඔබත් දැක ඇතුවාට සැකයක් නැහැ. මාස්ක් එකක අරමුණ ගැන සිතා බලද්දී එය කොතරම් අනුවණ මෙන්ම භයානක ක්‍රියාවක් දැයි ඔබට අනිවාර්යයෙන්ම වැටහෙනවා ඇති. තමන්ට කිවිසුමක් හෝ කැස්සක් එන්නේ නම් එය සිදු කළ යුත්තේ ද අනිවාර්යෙන්ම මාස්ක් එක පැළඳ සිටියදීම යි. කිවිසුමේ දී හෝ කැස්සේ දී බිඳිති පරිසරයට පිට වීම ඉන් අවම වනවා.

බෙදාහදා ගැනීම හොඳ පුරුද්දක්ද?

බෙදාහදා ගැනීම හොඳ පුරුද්දක් විදිහට අපි ළමා කාලයේ සිටම ඉගෙන ගත්තත් මෙවැනි වසංගත කාලයක දී කිසිදු භාණ්ඩයක් බෙදාහදාගනිමින් පරිහරණය කිරීම නොසුදුසු ක්‍රියාවක්. විශේෂයෙන්ම මාස්ක් එකක් බෙදා හදාගෙන භාවිත කරනවා යනු මාස්ක් එකක් නොපැළඳ සිටීමටත් වඩා අතිශය භයානක කටයුත්තක්. භාවිත කළ මාස්ක් එකක් පමණක් නොවෙයි, වරක් භාවිත කිරීමෙන් අනතුරුව සේදීමෙන් පසුව වුවත් තමන්ගේ මාස්ක් එක තමන්ම පළඳිනවා මිස මාරු කරගන්නට හිතන්න එපා.

මාස්ක් එක හරියට ගලවමු!

Image: freepik

මාස්ක් එක පැළඳීමේ දී මෙන්ම ගැලවීමේ දී ද සැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ගැලවීම පිණිස මාස්ක් එක ඇල්ලීමට පෙර දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කර ගැනීම සිදු කළ යුතුයි. ඉන් අනතුරුව මාස්ක් එක ඇල්ලිය යුත්තේ කන්වලට සවිවීම පිණිස එහි දෙපස ඇති පටි දෙකෙන් පමණයි. මාස්ක් එකේ පිටත පෘෂ්ඨය හෝ ඇතුළත පෘෂ්ඨය ඇල්ලීම වලක්වා ගැනීම ගැන ඔබ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. එමෙන්ම එය ගැලවීමේ දී තම නාසය සහ මුඛය මාස්ක් එකෙහි පිටත පෘෂ්ඨයේ ස්පර්ශ වීම වැළැක්වීම පිළිබඳවත් අනිවාර්යයෙන් සැළකිලිමත් වීම වැදගත්.

මාස්ක් එක ගැලවීමෙන් අනතුරුවත්  දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කර ගැනීම කිරීම අවශ්‍යයි. ගැලවූ මාස්ක් එක ඒ මොහොතේ දීම සේදීම සුදුසු වුවත්, එම අවස්ථාවේ දීම සේදීමේ හැකියාවක් නොමැති නම් සෝදන්නට ගන්නා තෙක් එය හොඳින් වැසිය හැකි කවරයක බහා තැබීම කළ යුතුයි. මේ සඳහා කඩදාසි බෑගයක් හෝ පොලිතීන් බෑගයක් වැනි දෙයක් භාවිත කරන්නට පුළුවන්. මාස්ක් එක සෝදන්නට පිටතට ගැනීමෙන් අනතුරුව එය බහා තිබූයේ කඩදාසි බෑගයක් නම් එය නිසි ලෙස බැහැර කිරීම හෝ පිළිස්සීම සිදු කළ හැකියි. ඒ සඳහා භාවිත කළේ පොලිතීන් බෑගයක් නම් එය හොඳන් සබන් යොදා සෝදා යළි භාවිතයට ගන්නට ඔබට පුලුවන්.

මාස්ක් එක විටින් විට ගැලවීම නොසුදුසු වුවත් ප්‍රායෝගික ජීවිතයේ දී ආහාර ගැනීම, ජලය පානය කිරීම වැනි අවස්ථාවල දී එය ගැලවීමට අපට සිදු වනවා. එවැනි අවස්ථාවක දී මාස්ක් එක මුඛයෙන් පහළ රඳවා ගැනීම කිසිසේත්ම නොකළ යුතු කටයුත්තක්. ආහාර ගැනීම වැනි අවස්ථාවක දී ඔබ මාස්ක් එක ආරක්ෂිතව ගලවා තැබීම සිදු කළ යුතුවනවා. එය කළ යුත්තේ ද ඉහත සඳහන් කළාක් මෙන් දෑත් පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින්ම යි. තාවකාලිකව මාස්ක් එක ගලවා තැබීමේ දී ද එය විවිධ ස්ථානවල අනාරක්ෂිතව තැබීම භයානකවන බැවින් ඒ සඳහා ද පොලිතීන් හෝ කඩදාසි බෑගයක් භාවිත කළ හැකියි. මෙහි දී මාස්ක් එකෙහි ඇතුළත පැත්ත පිටත පෘෂ්ඨයේ ස්පර්ශ වීම වැලකෙන පරිදි, එමෙන්ම ඇතුලත පෘෂ්ඨය තම අත්වල සහ බෑගයේ ස්පර්ශ නොවන පරිදි කටයුතු කිරීම වැදගත්.

හැමදාම සෝදනවද?

ඔබ භාවිත කරන්නේ මෙඩිකල් මාස්ක් එකක් හෝ රෙස්පරේටර් එකක් නම් ඒවා නැවත නැවත සෝදා භාවිත කිරීම නොසුදුසු බවයි විශේෂඥ මතය වී ඇත්තේ. උදාහරණයක් ලෙස සර්ඡිකල් මාස්ක්ස් නැවත නැවත සෝදා භාවිත කිරීමෙන් මාස්ක් එකක අරමුණ ඉටු වන්නේ නැති බව ඔවුන් පවසනවා. මේ නිසා නොවැලැක්විය හැකි මොහොතක දී හැර සර්ඡිකල් මාස්ක් එකක් සෝදා යළි භාවිත කිරීම නොකළ යුතු අතර එක්වරක් භාවිත කිරීමෙන් පසු එය ඉවත දැමිය යුතු වනවා.

කෙසේ වෙතත් ඔබ භාවිත කරන්නේ සාමාන්‍ය ෆැබ්‍රික් මාස්ක් එකක් නම් පැළඳීමෙන් අනතුරුව දවස අවසානයේ එය ගලවන සෑම අවස්ථාවක දීම සේදිය යුතු වනවා. එමෙන්ම වරක් භාවිත කළ මාස්ක් එකක් කුමන අවස්ථාවක දී හෝ නොසෝදා යළි භාවිත කිරීම නොකළ යුතුම දෙයක්. මේ නිසා එදිනෙදා භාවිත කරන මාස්ක් එක එදිනම සේදීම අප විසින් ඇති කරගත යුතු වැදගත් පුරුද්දක් ලෙස හැඳින්විය හැකියි.

සෝදන්නේ කොහොමද?

Image: Willfried Wende

මාස්ක් එකක් සේදීමේදී එය අනෙක් රෙදි සමග සේදීමෙන් වැළකිය යුතු වනවා. මාස්ක් එක මත වෛරස හෝ වෙනත් අහිතකර දෙයක් තිබේ නම් ඒවා අනෙක් ඇඳුම් වෙත මුසු වීම එයින් වැළකෙනවා. මාස්ක් එක ප්‍රථමයෙන් පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ගැනීමෙන් අනතුරුව හොඳින් සබන් යොදා සෝදාගත යුතු වනවා. කිහිප වරක් සබන් යෙදීම ද වරදක් නැහැ. මාස්ක් එකට යෙදූ සබන් හොඳින් සේදෙන්නට හැරීමත් කළ යුතු වන්නේ නොසේදුණු සබන් සහිත මාස්ක් එකක් පැළඳීම ඔබට අහිතකර විය හැකි නිසා යි.

එලෙස සෝදාගත් මාස්ක් එක නටන උණු ජලයෙන් තම්බා ගැනීමේ හැකියාවක් ඇත්නම් වඩාත් යෝග්‍යයි. එමෙන්ම උණු ජලය යොදා රෙදි සේදිය හැකි රෙදි සෝදන යන්ත්‍රයක් ඇත්නම් උණු ජලය මගින් එය සෝදාගැනීමේ හැකියාව ඔබට පවතිනවා. එමෙන්ම සේදූ මාස්ක් එක ප්‍රෙෂර් කුකර් එකක් මගින් තම්බා ගැනීමේ හැකියාවක් ඇත්නම් එය තවදුරටත් ආරක්ෂාවට යහපත් බව විශේෂඥයින් පවසනවා. එම අමතර කාරණා කෙසේ වෙතත් එක් වරක් භාවිත කළ මාස්ක් එකක් යළි භාවිතයට පෙර හොඳින් සබන් යොදා පිරිසිදු ජලයෙන් සෝදාගැනීම නම් අනිවාර්ය වනවා.

මාස්ක් එක දාලා හුස්ම ගන්න අමාරුද?

Image: mdjaff/freepik

“මේ මාස්ක් එක නිසා හුස්ම ගන්නත් බෑ” යනුවෙන් බොහෝ අය මැසිවිළි නගන අයුරු අසන්නට පුලුවන්. මේ නිසාම ඇතැමුන් මාස්ක් එක විටින් විට ගැලවීම සිදු කරනවා වගේම නාසය නිරාවරණය කරගෙන ඉන්න ආකාරයත් දක්නට ලැබෙනවා. එය නොකළ යුත්තක් බව මා මීට පෙරත් ඔබට පැවසුවා. ශ්‍රී ලංකාව වගේ උෂ්ණාධික රටක මාස්ක් එකක් පැළඳගෙන සිටිය දී යම් අපහසුතාවයක් දැනීම පුදුමයක් නොවෙයි. එහෙත් මේ වගේ භයානක වසංගත තත්ත්වයක දි අපි ඒ අපහසුතාවය විඳ දරාගෙන පුංචි කැපවීමක් කළ හොත් එහි යහපත් ප්‍රතිඵලය ද ලැබෙන්නේ අපිටමයි.

කොහොම වුණත් මාස්ක් එක නිසා දැනෙන්න පුළුවන් සාමාන්‍ය අපහසුතාවයකට එහා ගිය හුස්ම ගැනීමේ අපහසුතාවයන් ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. අපි ප්‍රශ්වාස කරන වාතයේ, එහෙමත් නැත්නම් අපි නාසයෙන් සහ මුඛයෙන් පිටකරන වාතයෙහි කාබන්ඩයොක්සයිඩ් අඩංගුවන බව පුංචි වයසේ දරුවෙකු පවා දන්නා දෙයක්. මාස්ක් එකක් දාගෙන හුස්ම හෙළද්දී අපි පිට කරන කාබන්ඩයොක්සයිඩ්වලින් යම් ප්‍රමාණයක් මාස්ක් එක ඇතුලේ රැඳෙනවා. නැවත හුස්ම ගැනීමේ දී මාස්ක් එක තුළ රැඳෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය යළි අපේ පෙණහළු තුලට ගමන් කිරීම සිදු වෙනවා. දිගින් දිගටම මෙම ක්‍රියාව සිදු වෙද්දී තරමක හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනීම සාමාන්‍ය දෙයක්. මාස්ක් එක තුළ රැඳෙන කාබන්ඩයොක්සයිඩ් පොඩි ප්‍රමාණයට අමතරව බාහිර පරිසරයෙන් අපට ඔක්සිජන් ද ලැබෙන නිසා මෙය අතිශයින් බියවන්නට අවශ්‍ය කාරණාවක් නොවෙයි.

එහෙත් පැය ගණනාවක් මාස්ක් එක පැළඳ සිටීමෙන් පසු ක්ලාන්ත ගතියක්, හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් හෝ වෙනත් දරුණු අපහසුතාවක් ඇති වන්නේ නම් මාස්ක් එක ගලවා විනාඩි කිහිපයක් හුස්ම ගැනීම කළ යුතු වනවා. එලෙස මාස්ක් එක ගැලවීමේ දී වෙනත් කිසිවෙකු නොමැති පරිසරයකට හෝ මිනිසුන් අඩුවෙන් ගැවසෙන තැනකට යන්නට පුළුවන් නම් තරමක් ආරක්ෂිතයි.

කෙසේ වෙතත් මෙවන් අවස්ථාවක දී ද මාස්ක් එක ගැලවිය යුත්තේ ඉතා සැළකිල්ලෙන්. මාස්ක් එක ගැලවීමට පෙර සබන් හෝ විෂබීජ නාශකයකින් අත් පිරිසිදු කිරීම අනිවාර්යවන අතර මාස්ක් එකෙහි පිටත පෘෂ්ඨය හෝ ඇතුළත පෘෂ්ඨය නොඇල්ලීමට වගබලාගත යුතුයි. මාස්ක් එක කන් දෙකෙහි රඳවන පටි දෙකෙන් අල්ලා පරිස්සමින් ගැලවිය යුත්තේ ද එහි පිටත පෘෂ්ඨය නාසයේ හෝ මුඛයේ ස්පර්ශ නොවන ලෙසට යි. මාස්ක් එක එහි පටි දෙකෙන් අල්ලා ගලවා ගැඹුරු හුස්ම කිහිපයක් ගැනීමෙන් අනතුරුව යළි මාස්ක් එක පැළඳගත යුත්තේ ද ඉහත පැවසූ ආකාරයෙන් ඉතා සැළකිලිමත්ව යි. එමෙන්ම එය පැළඳීමෙන් අනතුරුව ද දෑත් පිරිසිදුකර ගැනීම සිදු කළ යුතුයි.

මාස්ක් එක දාගෙන නොකළ යුතු දෑ?

මාස්ක් එකක් පැළඳගෙන සිටිය දී ප්‍රශ්වාස වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සුළු ප්‍රමාණයක් මාස්ක් එක තුළ එකතුවන බව මීට පෙර අපි කතා කළා. සාමාන්‍ය අවස්ථාවක දී මෙය එතරම් ගණන් ගත නොයුතු වුවත් ඔබේ සිරුර වෙහෙසවන අවස්ථාවක දී ශ්වසන වේගය වැඩිවන නිසාත්, එහි දී වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය නිසාත් මෙය අහිතකර වන්නට පුළුවන්. එම නිසා මාස්ක් එකක් පැළඳගෙන අධිකව වෙහෙසීම සුදුසු වන්නේ නැහැ.

විශේෂයෙන් මාස්ක් එකක් පැළඳගෙන ව්‍යායාම කටයුතුවල යෙදීම ආදිය නොකළ යුතුවනවා. ව්‍යායාම හෝ වෙනත් වෙහෙසකර ක්‍රියාවක යෙදෙන්නේ නම් වෙනත් පුද්ගලයින් සමග අවම වශයෙන් මීටරයකට වඩා පරතරයක් තබා ගනිමින් මාස්ක් රහිතව එය සිදු කිරීම සුදුසු බවටයි විශේෂඥයින් පවසන්නේ. කෙසේ වෙතත් මේවන විට මාස්ක් පැළඳීම අනිවාර්ය කර ඇති නිසා එවන් පරතරයක් සහිතව වුවත් පොදු ස්ථානවල මාස්ක් රහිතව ව්‍යායාම සිදු නොකිරීම සුදුසුයි. එසේම උදාහරණයක් ලෙස බසයක් නවත්වා ගැනීමට දිවීම, පාපැදි ධාවනය වැනි ක්‍රියා මාස්ක් එකක් පැළඳ සිටීමේ දී සීමා කර ගැනීමට හැකි නම් නුවණට හුරුයි. එමෙන්ම ක්‍රීඩා කටයුතුවල යෙදෙන්නේ නම් එවිටත් මාස්ක් රහිතව, එහෙත් නියමිත පරතරය තබාගෙන එම කටයුතුවල නිරත වීම සුදුසු වනවා.

ළමුන්ටත් මාස්ක් ඕනෙද?

Image: August de Richelieu

මග තොටේ සිටින මාස්ක් පැළඳූ ඇතැම් දෙමාපියන් තමන් සමග යන සිය දරුවන් හට මාස්ක් පළඳා නොමැති බව දක්නට පුළුවන්. තමන් ආරක්ෂාව සළසාගෙන දරුවන් එලෙස අනාරක්ෂිත කරන්නේ ඇයිදැයි යන්න ඇත්තෙන්ම ගැටළුවක්. සරළව කිවහොත්, තේරෙන වයසේ සිටින දරුවෙකු බාහිර පරිසරයට ගමන් කරද්දී ඔහුට ගැලපෙන ප්‍රමාණයේ මාස්ක් එකක් පැළඳීම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් අතදරුවන්ට මාස්ක් පැළඳවීම නම් නොකළ යුතුම දෙයක්. මාස්ක් එක මගින් අතදරුවන්ගේ හුස්ම හිරවීමේ හැකියාව ඇති අතර එවැන්නක් සිදුවුව හොත් තමන්ට ඇති අපහසුතාව පිළිබඳව පැවසීමට ද කුඩාම බිළිඳෙකු හට නොහැකි බැවින් භයානක ප්‍රතිඵලයක් අත්විය හැකියි.

එමෙන්ම වයස අවුරුදු 5 හෝ ඊට අඩු දරුවන්ට මාස්ක් පැළඳවීමේ දී ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වන්නේ ඔවුන්ට මාස්ක් එක පැළඳ සිටීම පිළිබඳව නිසි අවබෝදයක් නොමැති විය හැකි බැවින්. ඇතැම් විට ඔවුන් මාස්ක් එක සැපීම, එය අතපත ගෑම, එය සමග සෙල්ලම් කිරීම ආදිය සිදු කළ හැකියි. එවැන්නක් සිදු කළහොත් එය මාස්ක් පැළඳ නොසිටීමටත් වඩා භයානක වනවා. එබැවින් කුඩාම දරුවෙකු හට මාස්ක් එකක් නිසි ලෙස පැළඳ සිටීම පිළිබඳ අවබෝදයක් නොමැති නම් එවැන්නෙකු හට මාස්ක් එකක් නොපළඳවා සිටීම සුදුසුයි.

Image: Helena Lopes

එවැනි තත්ත්වයක දී සුදුසුම පියවර වන්නේ අත්‍යාවශ්‍ය හේතුවක දී හැර කුඩා දරුවෙකු බාහිර පරිසරයට රැගෙන නොයාම යි. කෙසේ වෙතත් මාස්ක් පැළඳ සිටීමට තරම් අවබෝදයක් ඇති දරුවන් හට නිවසෙන් පිටතට යාමේ දී මාස්ක් එකක් පැළඳවීම සිදු කළ යුතුම යි. එමෙන්ම එය නිසි පරිදි පළඳින ආකාරය, නොකළ යුතු දෑ ආදිය පිළිබඳ දරුවාට කියා දීමත් සිදු කිරීම වැදගත්.

කෙසේ වෙතත් වැඩිහිටියන්ටත් වඩා දරුවන් දිවීම, පැනීම ආදිය සිදු කරන නිසා, ඔවුන් ක්‍රියාකාරී වීමේ දී හෝ සෙල්ලම් කිරීමේ දී මාස්ක් එක ඉවත් කිරීම කළ යුතුවනවා. මාස්ක් පැළඳ සෙල්ලම් කිරීම මගින් දරුවාට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකියි. මාස්ක් ගලවා සෙල්ලම් කිරීමේ දී ද දරුවන් අතර නිසි පරතරය තබා ගැනීම පිළිබඳ සොයාබලන්නට සිදුවනවා.

මාස්ක් දෙකක් රැගෙන යන්න!

ඔබ නිවසෙන් බැහැරව යන විට අමතර මාස්ක් එකක් බෑගයේ හෝ පසුම්බියේ දමාගෙන යාමට පුරුදු වීම විශේෂයෙන් වැදගත් වනවා. එසේ සිදු කිරීමෙන් ඔබ පැළඳ සිටින මාස්ක් එකෙහි පටියක් හදිසියේ කැඩී ගියහොත්, මාස්ක් එකට වෙනත් හානියක් සිදු වුවහොත්, එහෙමත් නැත්නම් කුමන හෝ ආකාරයකින් පැළඳ සිටින මාස්ක් එක අපිරිසිදු වුවහොත් වැනි අවස්ථාවක දී අපහසුතාවයට පත් නොවී සිටීමට ඔබට හැකියි.

ඔබ සතු වන්නේ පැළඳ සිටින මාස්ක් එක පමණක් නම්, ඉහත පැවසූ වැනි අවස්ථාවකට මුහුණ දී මාස්ක් එක ගලවා සිටීමට ඔබට සිදු වුවහොත් සෞඛ්‍ය අවදානම පමණක් නොව නිරෝධායන නීතිය ඉදිරියේ ද ඔබ වරදකරු වී ගැටලු මතු වීමේ ඉඩ කඩ තිබෙනවා.

කෙසේ වෙතත් අමතර මාස්ක් එකක් රැගෙන යද්දී එය සෝදා පිරිසිදු කරගත් එකක් ද යන්න පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි. එසේම එය කෙලින්ම සාක්කුවේ හෝ බෑගයේ දමා නොගෙන කඩදාසි බෑගයක් හෝ පොලිතීන් බෑගයක් වැනි පිරිසිදු රඳවනයක බහා රැගෙන යාම වැදගත්වනවා. ඔබට පාසල් යන දරුවෙකු සිටිනවා නම් එලෙස නිසි ලෙස ඇසුරුම් කළ මාස්ක් එකක් දරුවාගේ පොත් බෑගයේ තබන්නටත් අමතක කරන්න එපා.

මාස්ක් අහිතකර විය හැකි අය කවුද?

මාස්ක් එකක් පැළඳීම නිසා නාසය හෝ මුඛය දැඩි ලෙස අවහිර වුවහොත් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත් මාස්ක් එක නිසි පරිදි සකසා ගැනීමට හෝ එය ගලවා ගැනීමට අපට හැකියාව ඇතත් විවිධ ආබාධ සහිත පුද්ගලයින්ට එවැනි හැකියාවක් නොමැති වන්නට පුළුවන්.

විශේෂයෙන් මානසික ආබාධිතතා පවතින ළමුන් සහ වැඩිහිටියන් හට තම අපහසුතාව ප්‍රකාශ කරගත නොහැකි වන්නට පුළුවන්. එපමණක් නොව කළහකාරී හැසිරීම් රටාවන් සහිත ඇතැම් මානසික ආබාධ ඇති ළමුන් සහ වැඩිහිටියන් මාස්ක් එක ගලවා දැමීමත්, විවිධ ස්ථානවල එය ස්පර්ශ කිරීම වැනි ක්‍රියාවන් ද සිදු කිරීමේ අවදානමක් පවතිනවා.

මානසික ආබාධ ඇත්තන් පමණක් නොව ශාරීරික ආබාධ ඇති පුද්ගලයින් හට ද තම මාස්ක් එක නිසිපරිදි සකසා ගැනීම හෝ ගලවා ගැනීම කළ නොහැකි අවස්ථා පැමිණිය හැකියි. මේ නිසා ශාරීරික හෝ මානසික ආබාධ සහිත පුද්ගලයින් හට මාස්ක් පළඳවන්නේ නම් ඔවුන් පිළිබඳ විශේෂ සැළකිල්ලකින් සිටීම වැදගත්.

පැරණි මාස්ක් ඔහේ විසිකරන්න එපා!

Image: Ryutaro Tsukata

වසර ගණනාවක් තිස්සේ දියුණු ජාතියක් බව පවසමින් පුරසාරම් දෙඩුවත් අපේ රටෙහි බොහෝ දෙනා කසළ බැහැර කරන ආකාරය පිළිබඳව සොයා බැලුවහොත් අප ඇත්තෙන්ම දියුණු ද යන්න ප්‍රශ්ණයක්. විශේෂයෙන් මෙවැනි වසංගත තත්ත්වයක දී අප පරිහරණය කරන දෑ තැන තැන දැමීම සිදු නොකර ඒවා නිසි ලෙස බැහැර කිරීම අනිවාර්යයෙන් වැදගත් වනවා. මාස්ක් එකක අරමුණ අපගේ මතකයේ ඇත්නම් භාවිත කළ මාස්ක් එකක් යනු අති භයානක දෙයක් බව ඔබට වැටහෙනවා ඇති.

එහෙත් මේවන විට ඇතැමුන් මග දෙපසට මෙන්ම ජලාශ, ගංගා, ඇළ දොළ වැනි ස්ථානවලට පවා භාවිත කළ පැරණි මාස්ක් බැහැර කර තිබෙන අයුරු ඔබත් දැක ඇති. භාවිත කළ මාස්ක් එකක කොරෝනා වෛරසය මෙන්ම තවත් ලෙඩරෝගවලට මුල් විය හැකි විවිධ විෂබීජ අන්තර්ගත විය හැකි බැවින් එවැනි ක්‍රියාවන්ගෙන් සිදුවන්නේ අපේ රටේ සෞඛ්‍යය තව තවත් පිරිහීම යි. ජලමාර්ග සහ ජලය බැසයාමට පවතින කාණු පද්ධති ආදිය සිර වී ගංවතුර වැනි තත්ත්ව මෙන්ම එවන් තත්ත්ව හරහා ද වෙනත් ලෙඩ රෝග බෝවීමේ අවදානමක් නිර්මාණය වන්නටත් මෙවන් ක්‍රියාවන් හේතුවනවා. එමෙන්ම ඉවත දැමූ මාස්ක්වල වැසි ජලය රැඳීමේ හැකියාව ඇති බැවින් අපේ රටට වසර ගණනාවක් තිස්සේ බලපෑම් කරන ඩෙංගු රෝගය පැතිර යාමටත් එය රුකුළක් වන්නට පුළුවන්.

Image: Gerd Altmann

එමෙන්ම මාස්ක් යනු ලෙහෙසියෙන් දිරායන දෙයක් නොවන නිසා නිසි පරිදි ඒවා බැහැර නොකිරීමෙන් පරිසරයට ද සිදුවන්නේ දැඩි හානියක්. මේවන විටත් මාස්ක් ලක්ෂ ගණනක් ඇළ දොළ ගංගා හරහා මුහුදට එක් වී ඇති බව ජාත්‍යන්තර පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

මේ නිසා මාස්ක් බැහැර කරද්දී ද විශේෂ සැළකිල්ලකින් එය කළ යුතුයි. පැරණි වූ හෝ හානි වූ මාස්ක් එකක් බැහැර කිරීමට පෙර එය ඔබ නැවත පැළඳීමට පෙර සිදු කළාක් මෙන් එය හොඳින් සබන් යොදා සෝදා, ඉන් පසු බැහැර කරන්නට හැකි නම් ඔබ කෙතරම් වටිනා පුරවැසියෙක් යන්න ගැන ඔබටම වැටහෙනවා ඇති. එමෙන්ම බැහැර කිරීමට පෙර සේදූ මාස්ක් එක හොඳින් වැසෙන බෑගයක බහා බැහැර කිරීමෙන් නගර සභා, ප්‍රාදේශීය සභා මගින් යොදවා ඇති කසළ රැගෙන යාමට පැමිණෙන පුද්ගලයින් ද ආරක්ෂා වනවා.

විසිකරන්න කලින් මේක කරන්න

මාස්ක් එකක් බැහැර කිරීමට පෙර සිදු කළ යුතු තවත් දෙයක් තිබෙනවා. එය නම්, මාස්ක් එක පැළඳීමට උපයෝගීවන පටි දෙක කපා දැමීම යි. එය සිදු කළ යුත්තේ ප්‍රධාන ලෙස පහත කාරණා අරමුණු කරගෙන යි.

1. සතුන්ගේ ආරක්ෂාව

අප බැහැර කරන කසළ නිසා සතුන්ට කොපමණ හානි සිදුවී ඇත් ද යන්න පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. අනෙකුත් කසළ මෙන්ම මාස්ක්ස් නිසා ද සතුන්ට හානි වීමේ ඉඩකඩ පවතිනවා. බහුලවම සිදුවන්නේ මාස්ක් එකෙහි ඇති පටි සතුන්ගේ සිරුරෙහි ඇමිණීම යි. විශේෂයෙන් කුරුල්ලන්, ඉබ්බන්, තලගොයින්, කබරගොයින් වැනි සතුන් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙනවා.

එමෙන්ම අප බැහැර කරන කසළවලින් විශාල ප්‍රමාණයක් මුහුදට එකතුවනවා. පෙර කියූ පරිද්දෙන්ම කැස්බෑවන්, ඩොල්ෆීන් සහ තල්මසුන් වැනි මුහුදු ජීවින්ගේ සිරුරුවල ද මාස්ක් ඇමිණීමෙන් ඔවුන් මරණයට පත්වන්නට පුළුවන්. මේ හේතුවෙන් මාස්ක් එකක් බැහැර කිරීමට පෙර එහි පටි දෙක කපා දැමීමට හැකි නම් තමන්ගේ ජීවිතය රැක ගැනීමට උදව් වූ මාස්ක් එකෙන් තවත් ජීවිතයක් විනාශ වීම මඳක් හෝ මගහරවාගැනීමට ඔබට පුළුවන්.

2. නැවත විකිණීම වැළැක්වීම

මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට මේවන විට මිනිසුන් පෙළඹී ඇති බව එදිනෙදා පුවත් ඇසීමේ දී අපට හොඳින්ම වැටහෙන කාරණයක්. එවැනි පසුබිමක දී ඉවතලන මාස්ක් එකතු කර සෝදා නැවත විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වුවහොත් එය පුදුමයට කාරණාවක් ද නොවෙයි. මාස්ක් එක බැහැර කිරීමට පෙර එහි පටි දෙක කපා දැමීමට හැකි නම් එවැන්නක් සිදුවීමට ඇති ඉඩ කඩ අවම කිරීමට එය හේතුවක් වේවි. පටි දෙක කැපීමට අමතරව මාස්ක් එක මැදින් දෙකට කපා වෙන් කොට බැහැර කිරීමට හැකි නම් ඔබේ මාස්ක් එක සෝදා නැවත විකිනීමක් සිදු නොවන බවට තහවුරු කරගන්නට ද ඔබට පුළුවන්.

මාස්ක් එක දැම්මාම සේරම හරිද?

මාස්ක් එකක් පැළඳගෙන සිටින විට තමන් කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂාවන බව ඇතැමුන් සිතනවා. එහෙත් ඇත්තෙන්ම මාස්ක් පැළඳීම යනු කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට ගත හැකි එක් පුංචි උපක්‍රමයක් පමණයි.

Image: cottonbro

අපි මාස්ක් පැළඳගෙන සිටිය දී වුවත් අනෙකුත් ආරක්ෂිත උපක්‍රම අනුගමනය නොකරන්නේ නම් වෛරසය ව්‍යාප්ත වීමේ අඩුවක් වන්නේ නැහැ. සෑම රටකම ලෝක වාසීන් බොහෝ දෙනා මාස්ක් පැළඳීම සිදු කළත් මේ වසංගත තත්ත්වය තවදුරටත් පැතිරෙමින් පැවතීමම එයට සාක්ෂියක්. මේ නිසා අප මෙතෙක් විස්තර කළ ආකාරයෙන් මාස්ක් පැළඳීම නිවැරදිව සිදුකරන අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජයේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති දෑත් සේදීම, නිසි පරතරය තබා ගැනීම ආදී සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුම වනවා. එම ප්‍රධාන සෞඛ්‍ය පිළිවෙත්වලට අමතරව එදිනෙදා ජීවිතයේ දී අප ඇති කරගත යුතු තවත් පුංචි පුරුදු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. ඒ පිළිබඳව විදුසර අප සැකසූ විශේෂ ලිපියක් පහත සබැඳිය ක්ලික් කිරීමෙන් කියවන්නට ඔබට පුලුවන්.

කොවිඩ්වලින් බේරෙන්න කිසිවෙකු නොකියන කරුණු 15ක්

මේ ලිපිය ආරම්භයේ දී මා පැවසුවාක් මෙන් පවතින වසංගත තත්ත්වය කවදා කෙලෙස නිමාවට පත් වේදැයි කිව නොහැකි නිසා තවත් කාලයක් යනතුරු අපට මාස්ක් පැළඳීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවනවා. එමෙන්ම වසංගතයේ පැතිරීම අඩුවනවා ද වැඩිවනවා ද යන්න තීරණය වන්නේත් අපගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙසයි. මෙනිසා තමන් ගැනත් තම ආදරණීයයන් ගැනත් සහෝදර රටවැසියන් මෙන්ම ලෝකවාසී ජනයා ගැනත් මෙත් සිතින් සිතා නිසි ලෙස මාස්ක් පැළඳීමත් අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පියවරත් අනුගමනය කිරීමට පියවර ගන්න. තමන්ට දැනෙන පුංචි අපහසුතාව ඉවසා එය සිදු කළ හොත්, තමන් ලෝවැසියන්ගේ හිත සුව පිණිස කටයුතු කළ පරිත්‍යාගශීලී මිනිසෙකු බව අනාගතයේ කවරදාක හෝ සතුටු සිතින් සිහිපත් කිරීමට ඔබට හැකි වේවි.

✍ සහන් පද්මසංඛ පීරිස්

error: Content is protected !!