කොවිඩ්වලින් බේරෙන්න කිසිවෙකු නොකියන කරුණු 15ක්

මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂක පිලිවෙත්වලට අමතරව ඔබ අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු කරුණු කිහිපයක් ගැන.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අපි හැමෝගේම ජීවන රටාවන් වෙනස් වෙලා. ලොකුම වෙනස විදිහට අපට දැනෙන්නේ නිවසින් බැහැරට යන හැම විටම මාස්ක් එකක් පළඳින්නට සිදුවීම. කොහොම වුණත් ඇතැම් දෙනා සිතන්නේ මාස්ක් එකක් පළඳින්නේ නම් තමන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිත බවයි. එහෙත් මාස්ක් පැළඳීම යනු වෛරසය පැතිරීම පාලනයට ගත හැකි එක් ආරක්ෂිත පියවරක් පමණයි. මාස්ක් පළඳින අතරම සබන් යොදා දෑත් සේදීම, සැනිටයිසර් භාවිතය සහ එකිනෙකා අතර අවම වශයෙන් මීටරයක වත් පරතරය තබා ගැනීම අනිවාර්යයි. මේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ජනමාධ්‍ය ඔස්සේ අපට නිතර අසන්නට ලැබෙනවා වගේම මේවා අනුගමනය කිරීමටත් බොහෝ දෙනා උත්සාහ කරනවා.

ඒ වුණත් ඉහත සඳහන් ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත පියවරවලට අමතරව මෙවන් භයානක වසංගත තත්ත්වයක දී සාමාන්‍යයෙන් අපගේ අවධානය යොමු නොවන කෝණයන් ඔස්සේ ද සිතා බැලීම වැදගත්. මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂක පිලිවෙත්වලට අමතරව ඔබ අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු පුංචි කරුණු කිහිපයක් ගැන.

1. ගමනකින් පසු නිවසට ආ විට මොකද කරන්නේ?

නිවසෙන් පිටත් වෙද්දී මාස්ක් දැමීම, සැනිටයිසර් භාවිතය, දුරස්ථභාවය තබාගැනීම වැනි දෑ ඉටු කළ යුතුයි යන්න පිළිබඳව මේවන විට සැවොම දැනුවත් නිසා යළි යළිත් සිහිපත් කිරීම අවශ්‍ය නැති වුවත් ගමනකින් පසු යළි නිවසට පැමිණි විට සිදු කළ යුතු දෑ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ නැහැ.

බාහිර පරිසරයේ දී ඔබේ සිරුරේ මෙන්ම ඔබේ ඇඳුම් පැළඳුම් ආදියේ ද වෛරසය තැවරී තිබෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක දී ඔබ නිවසට පැමිණ අනවධානයෙන් හැසිරුණහොත් වෛරසය ඔබටත් ඔබේ පවුලේ අයටත් ආසාදනය වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් නිවසට පැමිණි සැණින් දරුවන් වඩා ගැනීම හෝ ඔවුන් ස්පර්ශ කිරීම නොකළ යුතුයි. නිවසට පැමිණ වාඩිවීමට පෙර ඔබ මෙන්ම ඔබේ ඇඳුම් පැළඳුම් ද පිරිසිදු කරගැනීම අනිවාර්යය පුරුද්දක් කරගැනීම වැදගත්.

ගමනකින් පසු නිවසට පැමිණීමේ දී සිතා බැලිය යුතු කරුණුවලින් කිහිපයක් පහත පරිදි සඳහන් කරන්නට පුලුවන්.

♦ සපත්තු සෙරෙප්පු

නිවසට පැමිණීමේ දී ඔබේ පාවහන් නිවසින් පිටත දී ගැලවීමට වගබලාගන්න. පාවහන් සේදිය හැකි ඒවා නම් සබන් යොදා සෝදන්න. සේදීමට නොහැකි නම් විෂබීජ නාශක දියරයක් යොදා පිරිසිදු කරගැනීමට පුළුවන්.

♦ ඇඳුම් පැළඳුම්

ඔබ ඇඳ පැළඳ සිටින ඇඳුම්වල ද වෛරසය තැවරී තිබිය හැකියි. එම නිසා ඒවා වහාම ගලවා ඒ මොහොතේ දීම සේදීමට හැකි නම් සුදුසුයි. ඒ මොහොතේ සේදීමට නොහැකි නම් හොඳින් වැසෙන බඳුනකට එම ඇඳුම් දමා රෙදි සෝදන මොහොත තෙක් වසා තබන්නට පුළුවන්. ඇඳුම් පමණක් නොවෙයි, තොප්පි/ටයිපටි වැනි පැළඳුම් ද හොඳින් පිරිසිදු කර ගැනීම වැදගත්.

ඔබ පැළඳ සිටින මාස්ක් එක ගලවා දමා ඉන් අනතුරුව ඇඳුම් ඉවත් කිරීම නොසුදුසු වන්නේ එසේ සිදු කිරීමෙන් ඇඳුම්වල වෛරසය තැවරී ඇත්නම් ඒවා නාසය සහ මුඛය හරහා ශරීර ගත වීමේ හැකියාව පවතින නිසා යි. එම නිසා ඇඳුම් ඉවත් කිරීමෙන් අනතුරුව අවසානයේ මාස්ක් එක ඉවත් කිරීම සුදුසු වනවා.

එමෙන්ම භාවිත කරන මාස්ක් ද දිනපතා සේදීම සිදු කළ යුතුයි. නිවැරදි ලෙස මාස්ක් එක ගලවන අයුරු සහ මාස්ක් නිවැරදිව සෝදන අයුරු පිළිබඳව අප මීට පෙර ලිපියක දී විස්තර සහිතව පැවසූ අතර මෙතන ක්ලික් කිරීමෙන් එය කියවීමට ඔබට හැකියාව තිබෙනවා.

♦ ඇස් කණ්ණාඩි/ආභරණ

බොහෝ දෙනා නොසිතුවත් වෛරසයක් යනු ඇසට නොපෙනෙන අතිශය කුඩා දෙයක්වන නිසා එය ඔබේ ආභරණවල පවා තැවරී තිබෙන්නට පුළුවන්. එම නිසා නිවසෙන් බැහැරව ගොස් යළි ආ පසු මාල වළලු ආදී ආභරණ ද සබන් යොදා සේදීම හෝ විෂබීජ නාශක දියරයකින් හොඳින් පිසදැමීම සිදු කළ හැකියි.

එමෙන්ම ඇස් කණ්ණාඩි/ අව් කණ්නාඩි ද බාහිර පරිසරයට හොඳින් නිරාවරණය වන උපකරණවන බැවින් ඒවා ද පිරිසිදු කර ගැනීම සුදුසුයි. බොහෝ ඇස් කණ්නාඩි වර්ග සබන් යොදා සෝදා ගැනීමට හැකියාව තිබෙනවා. එහෙත් ඇල්කොහොල් අඩංගු විෂබීජනාශක වර්ග භාවිත කිරීමෙන් කණ්ණාඩි කුට්ටමට හානි සිදු විය හැකි බැවින් එවැනි ද්‍රව්‍ය යොදා එය පිරිසිදු කර ගැනීම නම් නොසුදුසු වනවා.

♦ ජංගම දුරකතන

ජංගම දුරකතන යනු අප නිතරම ස්පර්ශ කරන මෙවලමක්වන නිසා නිවසට පැමිණීමෙන් අනතුරුව අනිවාර්යයෙන් එය පිරිසිදු කර ගත යුතුයි. මේ සඳහා ද විෂබීජ නාශක දියරයක් භාවිත කළ හැකි අතර එම දියරය දුරකතනය මතට කෙලින්ම ඉසීම සිදු නොකර රෙදි කැබැල්ලක් හෝ ටිෂූ කැබැල්ලක් විෂබීජ නාශක දියරයෙන් පොඟවා එමගින් ජංගම දුරකතනය පිරිසිදු කරගන්නට ඔබට පුළුවන්.

♦ හෙල්මට්

තැන තැන කෙළ ගැසීමේ පුරුද්ද ඇත්තන් අපට මග තොටේ දී නිතර දකින්න ලැබෙනවා. රථ වාහන වල ගමන් ගන්නා ඇතැම් පුද්ගලයින් ද ගමන අතරතුරේ අනුවණ ලෙස කෙළ ගැසීම නිතර දක්නට හැකි දෙයක්. ඔබ යතුරුපැදියක ගමන්කරන්නෙකු නම් ඉදිරියේ ගමන්ගන්නා වාහනයක සිටින්නෙකු කෙළ ගැසීමේ දී පිටවන සියුම් බිඳිති ඔබ දෙසට පැමිණෙන්නට පුළුවන්. ඒවා ඔබේ සිරුර, ඇඳුම්වල මෙන්ම ඔබේ හෙල්මට් මත ද තැවරීම සිදුවනවා. කෙළ ගැසූ පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයෙකු නම් ඔබ කොතරම් අවදානමකට පත් වේ දැයි අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.

මාස්ක් එක නිසාත්, ඇඳුම් නිසි ලෙස ගලවා සෝදාගන්නා නිසාත් ඔබට ආසාදිතයෙකු නොවී බේරීමට හැකි යැයි ඔබ සිතුවත්, ඔබ පළඳින හෙල්මට් මත ඇති විෂබීජ පිළිබඳ අවධානය යොමු නොකළ හොත් ඔබට ගැලවීමක් නැහැ.  එම නිසා ඇඳුම් පැළඳුම් මෙන්ම හෙල්මට් ද පිරිසිදු කරගත යුතු වනවා.

හෙල්මට් දිනපතා සේදීම ප්‍රායෝගික කටයුත්තක් නොවන නිසා හෙල්මට් එකේ පිටත පෘෂ්ඨයට විෂබීජ නාශකයක් ඉස පිසදැමීම සිදු කිරීමට ඔබට පුළුවන්. මෙහි දී ද ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයක් යොදාගත හොත් හෙල්මට් එක දුර්වර්ණ වී අවලස්සන වීමේ හැකියාවක් පවතිනවා. මෙනිසා ඇල්කොහොල් අඩංගු නොවන දියරයක් භාවිත කිරීමට වගබලාගන්න. එවැන්නක් සොයා ගත නොහැකි නම් හොඳින් සබන් දියරයෙන් පෙඟවූ රෙදි කැබැල්ලක් මගින් කිහිප විටක් හොඳින් පිසදමා හෙල්මට් එක දිනපතාම පිරිසිදු කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

♦ බෑග්

හෙල්මට් මෙන්ම එදිනෙදා භාවිත කරන බෑග් ආදිය දිනපතා සබන් යොදා සේදීම ප්‍රායෝගික නොමැති වුවත්, විෂබීජ නාශක දියරයක් මගින් එය පිසදමා පිරිසිදු කරගැනීම කළ හැකියි. ඒ වගේම එදිනෙදා භාවිතයේ දී සිය බෑගය තබන ස්ථාන පිරිසිදු ද යන්න ගැනත් සැළකිලිමත් වෙන්න.

♦ ලේන්සු

ඇඳුම් පැළඳුම් ගැන කිව්වත් ලේන්සු යනු බොහෝ දෙනා අමතක කරන දෙයක්. අනෙකුත් ඇඳුම් මෙන්ම තමන් භාවිත කරන ලේන්සුව ද හොඳින් සෝදා ගැනීම කළ යුතුමයි.

එමෙන්ම ලේන්සුව පරිහරණය කිරීමේ දී ද එය සැළකිල්ලෙන් කළ යුතුයි. නිවසෙන් පිටත දී ලේන්සුව අතට ගැනීමට පෙර දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කර ගැනීම කළ යුතුවන අතර ලේන්සුව සිය මාස්ක් එකෙහි පිටත පෘෂ්ඨයේ ස්පර්ශ නොකරගැනීමට වගබලාගන්න.

එමෙන්ම ඇතැමුන් බස්රථයේ ගමන් කිරීමේ දී තම ලේන්සුව බසයේ තැනින් තැන ස්පර්ශවන සේ තබාගෙන යාම සිදු කරනවා. මඳක් සිතා බැලුවොත් එය බොහොම අනුවණ ක්‍රියාවක් බව ඔබට අනිවාර්යයෙන්ම තේරේවි.

2. බෙදා ගැනීම නරක පුරුද්දක්

බෙදා හදා ගැනීම යහපත් පුරුද්දක් ලෙස අපි බාල වියේ සිටම ඉගෙන ගත්තත් මේවන විට නම් එය ඉතා නරක පුරුද්දක්. මෙම වසංගත සමයේ දී කිසිදු උපකරණයක් බෙදාහදා ගැනීමෙන් වැළකිය යුතුයි.

විශේෂයෙන් ජංගම දුරකතන, හෙල්මට්, හෙඩ්ඩසෙට්ස්/හෙඩ්ෆෝන්ස්, ලැප්ටොප්/කීබෝඩ්/මවුස් වැනි පරිගණක මෙවලම්, පොත් පත්, පෑන්, ආහාර පාන සහ පිඟන්/කෝප්ප වැනි දෑ, වතුර බෝතල්, රූපලාවන්‍ය උපකරණ ආදී එකී නොකී දෑ කිසිවක් එකිනෙකා අතර බෙදාහදා ගනිමින් පරිහරණය කිරීම අතිශය භයානක කටයුත්තක්.

කෙසේ වෙතත් නොවැලැක්විය හැකි හේතුවක් මත වෙනත් අයෙකුගේ භාණ්ඩයක් හෝ තමාට පෙර වෙනත් අයෙකු ස්පර්ශ කළ භාණ්ඩයක් පරිහරණය කිරීමට සිදුවේ නම්, එය සේදිය හැකි භාණ්ඩයක්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව සබන් යොදා සේදීමෙන් පසු පරිහරණය කිරීමට ඔබට පුළුවන්.

එය සේදිය නොහැකි නම් අදාළ භාණ්ඩයට විෂබීජ නාශක දියරයකින් හානි සිදුවිය හැකි එකක්ද නැද්ද යන්න පරීක්ෂා කර බලා, හැකියාවක් ඇත්නම් එය විෂබීජ නාශක දියරයකින් පිසදමා පරිහරණය කිරීම ද, එවන් කිසිවක් සිදු කළ නොහැකි නම් එය පරිහරණය කිරීමෙන් අනතුරුව හොඳින් දෑත් සේදීම හෝ සැනිටයිසර් යොදා පිරිසිදු කර ගැනීම ද සිදු කළ හැකියි.

එහෙත් ආහාර පාන බෙදා ගැනීම කුමන අවස්ථාවක දී හෝ සිදු නොකළ යුතු අතර වෙනත් අයෙකු ස්පර්ශ කළ පිඟන්, කෝප්ප සහ හැඳි වැනි දෑ භාවිතයට ගැනීමේ දී ඒවා හොඳින් සබන් යොදා සෝදාගත යුතු වීම අනිවාර්යයයි.

3. පෑනක් ගෙනියන්න

මේවන විට බැංකු වැනි විවිධ ආයතනවලට ඇතුළු වෙද්දී නම, ලිපිනය සහ දුරකතන අංකය සටහන් කිරීම බොහෝ විට අනිවාර්ය කර ඇති බැවින් නිවසින් බැහැරට යද්දී පෑනක් රැගෙන යාම වඩාත් සුදුසුවනවා. අදාළ ස්ථානයේ ඇති පෑන බොහෝ දෙනා ස්පර්ශ කරන බැවින් තමන්ගේම පෑනක් භාවිත කිරීම කොතරම් යෝග්‍යද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වෙතත් එවන් ස්ථානයක දී තමන්ගේම පෑන භාවිත කිරීමෙන් පසුව වුවත් සැනිටයිසර් යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගැනීම යෝග්‍ය වන්නේ අදාල සටහන තබන කඩදාසියත් බොහෝ අයගේ ස්පර්ශයට ලක් වන නිසා යි.

4. අත් සෝදන විට

බොහෝ ව්‍යාපාරික ස්ථාන, කාර්යාල සහ වෙනත් ආයතන ඉදිරියේ මේවන විට අත් සේදීමේ ස්ථානයක් වෙන් කොට තිබෙනවා. එහි පාදය යොදා ක්‍රියා කරවිය හැකි ජල කරාමයක් පවතියි නම් එය ආරක්ෂිතයි. නමුත් එහි පවතින්නේ සාමාන්‍ය පරිදි අතින් කරකවා විවෘත කළ යුතු ජල කරාමයක් නම්, ඔබ අත් සෝදා අවසන් වී කරාමය වැසීමේ දී කරාමයේ වෛරසය තැවරී තිබුණොත් එය ඔබේ දෑතෙහි තැවරෙන්නට පුලුවන්. එම නිසා ඔබ දෑත් සෝදන විට අදාළ ජල කරාමයේ ද සබන් හෝ අත් සේදුම් දියර තවරා සෝදා එය වසා දැමීමයි සුදුසු වන්නේ. කොහොම වුණත් ඇතැම් ස්ථානවල ඇති ජල කරාම අසළ සබන් කැබැල්ලක් හෝ අත් සේදුම් දියර නොමැති බවත් දක්නට පුලුවන්. එවන් ස්ථානයකින් අත් සේදීමෙන් වැළකීමට අනිවාර්යෙන් වගබලාගන්න.

5. පිටින් කෑම කන්න එපා!

වැලැක්විය නොහැකිනම් හැර පිටස්තර ස්ථානයකින් ආහාර මිලට ගැනීම මේ කාලයේ දී හැකිතාක් සීමා කරන්න. නිවසේ දී පිසින ලද ආහාර පමණක් භාවිත කරන්න. විශේෂයෙන් වඩේ, එළවලු රොටී, පාන් බනිස් ආදී කෙටි ආහාර මෙන්ම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර වේල් ද මිලට ගැනීමෙන් වළකින්න. එය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට පමණක් නොව තවත් රෝගවලින් ද ඔබව ආරක්ෂා කරාවි.

6. වතුර බෝතලයක් ලඟ තියාගන්න

පිටින් ආහාර ගැනීමෙන් වැළකෙනවා සේම පිටස්තර ස්ථානයකින් ජලය පානය කිරීමත් මගහැරිය යුත්තේ එවන් ස්ථානයක දී අපට පමණක් වෙන් වුණු වීදුරු/කෝප්ප වැනි දෑ නොමැති නිසායි. නිවසින් පිට බොහෝ වේලාවක් ගතකරනවා නම්, නිවසට යන තෙක් ජලය පානය නොකර සිටීම නම් සුදුසු වන්නේ නැහැ. ජලය අඩුවෙන් පානය කිරීම විවිධාකාරයේ රෝගවලට මග පාදනවා.

මේ නිසා සුදුසුම සහ විශ්වාසවන්තම දේ වන්නේ නිවසින් ජල බෝතලයක් රැගෙන යාම යි. එහෙත් පෙර සඳහන් කළ ආකාරයෙන්ම, සිය ජල බෝතලය මිතුරන් සමග බෙදා ගැනීම නම් කරන්නට එපා. නිවසින් රැගෙන යන ජල බෝතලය ඔබ ස්පර්ශ කිරීමට පෙර ද සැනිටයිසර් යොදා දෑත් පිරිසිදු කරගැනීමට මතක තබාගන්න. එමෙන්ම නිවසට පැමිණීමෙන් පසු බෝතලයේ පිටත පෘෂ්ඨය හොඳින් සබන් යොදා සෝදාගන්නත් අමතක කරන්න එපා.

7. කෑම කනකොට

ආහාර බෙදා ගැනීම පමණක් නොවෙයි, දෙදෙනෙකු සහ කිහිප දෙනෙකු එකම ස්ථානයක ආහාර ගැනීම ද සුදුසු දෙයක් නොවෙයි. සේවා ස්ථානවල, කාර්යාලවල ආහාර ගැනීමට ස්ථානයක් වෙන් කොට තිබෙන නමුත් ආහාර ගැනීමේ දී මාස්ක් එක තාවකාලිකව ගැලවීම සිදුවන නිසා ආහාර ගන්නා ස්ථානයේ කිහිප දෙනෙකු සිටිනවානම් දවස පුරා ඔබ මාස්ක් පැළඳීමෙනුත් පළක් වන්නේ නැහැ. මේ නිසා තනි තනිව ආහාර ගැනීමට හුරු වීම ඉතාමත් වැදගත්. ආහාර ගන්නට නිවසින් ගෙනා හැන්දක් භාවිත කිරීමට හුරු වීමත් මේ දිනවල දී ඉතා වටිනා පුරුද්දක් ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම ආහාර ගැනීමට සූදානම් වෙද්දී මාස්ක් එක ගැලවීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරගත යුතු වනවා සේම මාස්ක් එක ගැලවීමෙන් අනතුරුව ආහාර ගැනීමට පෙරත් දෑත් පිරිසිදු කරගැනීම අනිවාර්යයයි. ආහාර ගන්නා අතරතුර මාස්ක් එක තැබිය යුත්තේ ද ආරක්ෂිත ස්ථානයක යි. කෑම මේසය මත මාස්ක් එක අනාරක්ෂිතව තැබුවොත්, මේසය මත ඇති වෛරස මාස්ක් එකෙහි තැවරෙනවා මෙන්ම මාස්ක් එකෙහි වෛරස ඇත්නම් මේසයෙහි තැවරීම ද සිදුවිය හැකි යි. මේ සඳහා කඩදාසි හෝ පොලිතීන් බෑගයක් භාවිත කිරීමට පුළුවන්.

මාස්ක් භාවිතය පිළිබඳ අප මීට පෙර පළ කළ සවිස්තරාත්මක ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න.

8. පරණ කැත පුරුදු අතහරිමු

කොතරම් නරක වුවත් බොහෝ පුරුදු අතහරින්නට බොහෝ දෙනෙකුට නොහැකියි. එහෙත් මෙවැනි සමයක දී අපගේ ඇතැම් නරක පුරුදුවලට තිත තැබීමට අපට අනිවාර්යයෙන් සිදුවනවා. නියපොතු කෑම, ඇඟිළි සැපීම වැනි පුරුදු මෙවන් කාලයක දී කොපමණ භයානක ද යන්න වග අමුතුවෙන් විස්තර කළ යුතු දෙයක් නොවෙයි.

එමෙන්ම මුද්දර, ලියුම් කවර ආදියේ කෙළ තවරා ඇලවීම ද ඉතා අයහපත් පුරුද්දක් වනවා. ඒ සඳහා ජලය හෝ ගම් වර්ගයක් භාවිත කිරීමට ඔබට පුළුවන්. තව ද, පොලිතීන් කවර, පොත් පිටු ආදිය පරිහරණයේ දී ඇතැමුන් ඇඟිල්ලෙහි කෙල තවරා ඒවා ස්පර්ශ කිරීම සිදු කරනවා. මුදල් ගණන් කිරීම වැනි කටයුතුවල දීත් මෙම අශෝභන පුරුද්ද භාවිත කරන පුද්ගලයින් තවමත් අප අතර සිටිනවා.

මෙවන් දෑ ගැන තවදුරටත් සිහිපත් කළ හොත්, නිතර නිතර තැනින් තැන හේතුවක් නොමැතිව කෙළ ගසන්නට පුරුදු වූ අය ද සිටිනවා. එමෙන්ම ඇතැමුන් බුලත් සපා තැනින් තැන කෙළ ගැසීම, තැනක් නොතැනක් නොමැතිව කට සේදීම, සොටු/සෙම පිටකිරීම වැනි දෑ ද සිදු කරනවා.

මෙවැනි පුරුදු මේ කාලයේ පමණක් නොව, වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව ද ජීවිතයෙන් බැහැර කොට තැබීම මගින් ඔබේ ප්‍රතිරූපයටත් සෞඛ්‍යයටත් දෙකටම හානි වීම වැළකෙනවා. එමෙන්ම අයෙක් එවැනි දෙයක් ප්‍රසිද්ධ ස්ථානයක දී සිදු කරන්නේ නම් එයට විරුද්ධ වීමටත් පසුබට වන්නට එපා.

අප සැවොම සිදු කරන, අයහපත් පුරුද්දක් ලෙසම දක්වන්නට අපහසු යමක් වෙතත් අවධානය යොමු කිරීම වැදගත්. ඒ තමයි තම මුහුණ ස්පර්ශ කිරීම. 2015 වසරේ දී ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ පර්යේෂණයක දී අනාවරණය වී ඇති ආකාරයට සාමාන්‍ය පුද්ගලයෙකු අවම වශයෙන් දිනක් තුළ පුද්ගලයෙක් මුහුණ ස්පර්ශ කරන වාර ගණන 500කටත් වඩා වැඩියි. යම් කිසි කාර්යයක නිරත වෙද්දී මුහුණ වෙත අපේ අත යන්නේ ඉබේම යි. එහෙත් මේ කාලයේ දී නම් සිහි බුද්ධියෙන් එම පුරුද්ද වළක්වා ගැනීමට හෝ අවම කිරීමට හැකි නම් එය ඉතාමත් වටිනා ක්‍රියාවක්.

9. අනුන්ගේ ළමයි හුරතල් කරනවාද?

බොහෝ පුද්ගලයින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන නොතකා කුඩා ළමුන්ගේ මුහුණ ඇල්ලීම, ඔවුන්ව සිපගැනීම ආදිය සිදු කරනවා. විශේෂයෙන් අදාළ දරුවාගේ පවුලේ නොවන පිටස්තර පුද්ගලයින් මෙවැනි දෑ සිදුකිරීම මගින් දරුවාටත් පිටස්තරයාටත් වෛරසය ආසාදනය වන්නට පුලුවන්. ඇතැම් දෙමාපියන් හට මේ අවදානම ගැන අවබෝධය ඇතත්, සිය දරුවා ස්පර්ශ නොකරන ලෙස පැවසුවහොත් අදාළ තැනැත්තා අමනාප වේ යැයි සිතා නිහඬව සිටින බව බොහෝ සිද්ධීන්වල දී දක්නට හැකියි.

එනිසා ඔබ සැබැවින්ම ළමුන්ට ආදරය දක්වන්නේ නම් මගතොටේදී මුණගැසුණු විට ඔවුන්ව ස්පර්ශ නොකිරීමට වගබලාගන්න. දරුවාගේ පවුලේ අයෙකු වුවත් දරුවාව ස්පර්ශ කිරීමට පෙර හොඳින් පිරිසිදු වී එය සිදු කිරීමට සිහිතබාගන්න.

එමෙන්ම මේ කාලයේ දී අලුත උපන් දරුවන් බලන්නට යාමෙන් ද වළකින්නට හැකි නම්, එය එම දරුවා වෙනුවෙන් ඔබ සිදු කරන පරිත්‍යාගයක් ලෙස දක්වන්නට පුළුවන්. දරුවා බලන්නට යා යුතුම නම් අදාළ නිවස තුළ දී ද මාස්ක් පැළඳ සිටීමට, නිසි පරතරය තබා ගැනීමට සහ දරුවා ස්පර්ශ නොකිරීමට මතක තබා ගන්න.

10. මහළු සහ රෝගී අය බැලීමට යාම

මෙයට පෙර කරුණෙහි කී ලෙස අලුත උපන් දරුවන් මෙන්ම රෝගීන් බැලීමට යාමෙන් ද, වයස්ගත පුද්ගලයින් බලන්නට යාමෙන් ද වැලකීම වැදගත්. කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම ඇත්තේ රෝගී සහ මහලු පුද්ගලයින්ට වීම නිසා ඔබ ඔවුන්ව බලන්නට නොයෑම ඔවුන්ගේ ජීවිතාරක්ෂාව කෙරෙහි තීරණාත්මක කාරණයක්.

එහෙත් පෙර කරු‍ණෙහි පැවසූ පරිදිම ඇතැම් අවස්ථාවල දී ඇතැම් ගමන් වළක්වන්නට අපට නොහැකියි. එවැනි අවස්ථාවක දී අදාළ නිවස තුළ දී ද මාස්ක් පැළඳ සිටීමට, නිසි පරතරය තබා ගැනීමට සහ වැඩිහිටි පුද්ගලයා හෝ රෝගියා ස්පර්ශ නොකිරීමට වගබලා ගන්න.

11. සුරතල් සතුන්

මේ වසංගත සමයේ දී අප ගැන මෙන්ම අපගේ සුරතල් සතුන් ගැන ද අවධානය යොමු කිරීම වැදගත්. බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් හට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බවට අප මේවන විටත් දැනුවත්. ඉතින් ඔබේ සුරතලාට වෛරසය ආසාදනය වුවහොත් නිවසෙන් පිටත දී ඔබ කොතරම් පරිස්සම් වුවත් පළක් නොවන අතර සුරතලා හරහා නිවසේ දී ඔබට වෛරසය ආසාදනය විය හැකි යි.

මේ නිසා ඔබේ සුරතල් සත්ත්වයා නිවස ආශ්‍රිතවම රඳවා ගැනීම වැදගත්වනවා සේම නිවසේ සිටින සුරතලා සමග පිටස්තර සතුන්ගේ සබඳතා වැළක්වීම ද කළ යුතුයි. එමෙන්ම පිටස්තර ස්ථානයකින් ආහාර නොගැනීමට ඔබ වගබලාගන්නවා මෙන්ම එවන් සුරතලාට ද එවන් ස්ථානයකින් රැගෙන එන ආහාර ලබා නොදීමට වගබලාගන්න. තම සුරතලා හැර වෙනත් සතුන් අතපත ගෑම හෝ සුරතල් කිරීම ද සිදු කරන්න එපා.

12. උත්සව සහ පින්කම් නැතුව බැරි ද?

අනවශ්‍ය පුණ්‍යෝත්සව ආදිය සංවිධානය කිරීමත් එවැනි ඒවාට සහභාගී වීමත් සීමා කිරීමට මේ කාලයේ දී වගබලා ගන්න. ඒ හරහා ජීවිතයක් හෝ ජීවිත රැසක් අනතුරට පත් වීමට ඇති අවස්ථාවක් මගහැරෙන නිසා පුරුද්දක් ලෙස සිදුකරන පුණ්‍යෝත්සවයක් මෙවන් කාලයක දී මග හැරීම පිනක් මිස පවක් ලෙස දැකිය යුතු නැහැ.

එහෙත් සිදුකිරීමට අත්‍යාවශ්‍ය පින්කමක් ඇත්නම් සංඝයාවහන්සේ කිහිප නමක් හැර පිටස්තර පුද්ගලයින්ට ආරාධනා නොකර පවුලේ කිහිපදෙනා පමණක් එක් වී එය සිදු කිරීම සුදුසු වනවා. එමෙන්ම එය කළ යුත්තේ ද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා (PHI) සහ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව යි. එවිට සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නියමිත සෞඛ්‍ය පිළිවෙත්වලට අනුකූලව එය සිදු කිරීම අනිවාර්ය කාර්යයක්.

එමෙන්ම එවැනි පුණ්‍යෝත්සවයක් සිදු කිරීමේ දී ද වෙනදාට සිදු කරන ඇතැම් වත් පිළිවෙත් ආදිය වෙනස් කිරීමටත් ඔබට සිදු වේවි. උදාහරණයක් ලෙස පිරිත් පැන් වැනි දෑ දෝතට ගෙන පානය කිරීම වැනි කටයුතු මේ කාලයේ දී  මගහරින්න.

පුණ්‍යෝත්සව සංවිධානය කිරීම මෙන්ම ඒවාට සහභාගී වීමේදී ද තම සහභාගීත්වය අත්‍යාවශ්‍ය නම් පමණක් එම ස්ථානයට යාමට වගබලාගන්න. අත්‍යාවශ්‍ය නම් අදාළ ස්ථානයේ දී නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය කරගන්න.

පුණ්‍යෝත්සව මෙන්ම වෙනත් උත්සව සාද ආදිය සංවිධානය කිරීම මගහැරීමත් මේ කාලයේ දී ඔබට කරන්නට පුළුවන් නම් එය ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ සිදු කරන කැප කිරීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එමෙන්ම අනවශ්‍ය උත්සව වලට සහභාගී වීම ද මගහැරීම වැදගත්.

කෙසේ වෙතත් මංගල උත්සවයක් වැනි අත්‍යාවශ්‍ය කරුණක දී උත්සවය සංවිධානය කිරීමේ දී ද සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කර නියමිත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සිදු කරමින් ඉතා සීමිත පිරිසක් පමණක් ගෙන්වා ගනිමින් එය සිදු කළ යුතු වනවා.

එමෙන්ම ඔබට යම් උත්සවයකට ආරාධනා ලැබුණේ නම් එයට සහභාගී වීම ද අත්‍යාවශ්‍ය දැයි වරක් නොව දෙවරක් සිතා බලන්න. අත්‍යාවශ්‍ය සාදයක් නම් පමණක් අදාළ උත්සවයේ දී නියමිත සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්න අනිවාර්යෙන් මතක තබාගන්න.

උත්සව සහ උපන්දින සාදවල දී එකම කේක් කැබැල්ල බොහෝ දෙනාට කැවීම, සිප වැළඳ ගැනීම වැනි අනුවණ ක්‍රියා නොකිරීමටත්, එවැන්නක් සාදයේ දී සිදුවේ නම් ඒ පිළිබඳව කරුණු පැහැදිළි කර දී එය වැළක්වීමටත් මතක තබා ගන්න. ඔබට එවැන්නක් වැළැක්වීමට නොහැකි නම් ඔබ එයට සම්බන්ධ නොවී සිටීමට වත් වගබලා ගන්න.

13. බෙහෙත් හරියටම බොන්න

ඔබ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් මේ වසංගත සමයේ දී එය මනාව පාලනය කරගෙන සිටීම ඔබේ ජීවිතයේ ආරක්ෂාවට අතිශය වැදගත්. විශේෂයෙන් ඔබ හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පෙලෙන කෙනෙකු නම් මේ කාලයේ දී ඔබ සිටින්නේ දැඩි අවදානමක යි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු අතර ඔබට ඇති රෝගී තත්ත්වය ඖෂධ මගින් මනාව පාලනය කර ගැනීමට හැකි නම්, වෛරසය ආසාදනය වුවත් එයට ශක්තිමත්ව මුහුණ දීමට ඔබට හැකි වේවි. එම නිසා ඔබට නියමිත ඖෂධ නිසි වේලාවට ලබා ගැනීමට මතක තබාගන්න. ඔබේ පවුලේ අයෙකු එවන් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඔවුන් ඖෂධ නියමිත ලෙස භාවිත කරන්නේ දැයි විමසිලිමත් වන්න.

14. ට්‍රිප් එකක් යමුද?

මෙවන් භයානක කාල වකවානුවක දී පවා ඇතැමුන්ට බොහෝ පිරිසක් සමග විනෝද චාරිකා යන්නට අවශ්‍ය වනවා. තවත් අය වන්දනා ගමන් සංවිධානය කරගන්නවා. බොහෝ දෙනා එක් වී සංවිධානය කරගන්නා මෙවන් චාරිකාවලින් බහුතරය නියමිත සෞඛ්‍ය පිළිවෙත්වලින් තොර බව රහසක් නොවෙයි. තමන්ගේ ජීවිතයට සහ තම ආදරණීයයන්ගේ ජීවිතවලට වඩා විනෝද චාරිකාව හෝ වන්දනා ගමන වටිනවා නම් එවැන්නකට සහභාගී වීම සුදුසු බව තමයි කිව හැක්කේ.

කෙසේ වෙතත් සිය පවුලේ සාමාජිකයන් වැනි ඉතා සුළු කණ්ඩායමක් පමණක් එක් වී සිහිනුවණින් යුතුව නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් මනා සැළසුමකින් චාරිකාව සංවිධානය කරගැනීමට හැකි නම් ගමන ආරක්ෂිතව ගොස් එන්නට ඔබට පුලුවන්.

15. බය වෙන්න එපා!

කොරෝනා වෛරසය ලෝකයම ගිලගෙන ඇති මේ මොහොතේ දී සමාජයේ බොහෝ පිරිස් දැඩි භීතියකින් පසුවනවා. තමන්ට වෛරසය ආසාදනය වේද, එසේත් නැත්නම් තම පවුලේ ආදරණීයයන්ට එය ශරීරගත වේද, මරණයට පත් වේද යනුවෙන් කම්පා වෙමින් සිටීම නිසා මේවන විට මානසික රෝගී තත්ත්ව පවා වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම වසංගතයට ඇති බිය නිසා ඇතැම් රටවල්වල සියදිවි නසා ගැනීමේ සිද්ධීන් පවා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඇත්තෙන්ම අප මේ වසංගත තත්ත්වයේ දී බිය විය යුත්තේ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය නොකරන්නේ නම් පමණයි. සිහි නුවණින් සිතා බලා වෛරසය ශරීරගත වීම වැළැක්වීමට ගත හැකි සියළු පියවර ගැනීමට අප ක්‍රියා කරන්නේ නම් වසංගත තත්ත්වය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. එනිසා වසංගතයට නොව, සෞඛ්‍ය පිලිවෙත් මගහැරීමට පමණක් බිය වන්න.


අප ඔබට මෙම ලිපියෙන් ගෙනහැර පෑවේ කොවිඩ් 19 ආසාදනය වීම සහ පැතිරීම අවම කරගනු පිණිස අපට ගත හැකි පුංචි පියවර 15ක් ගැන පමණයි. වෛරසය ශරීරගත විය හැකි ක්‍රම සහ වෛරසය මග හැරීමට මෙන්ම විනාශ කිරීමට ගත හැකි ක්‍රම පිළිබඳව මඳක් බුද්ධිමත්ව සිතා බැලුවොත් මෙම පියවර 15ටත් වඩා තවත් කුඩා ආරක්ෂිත පියවර රැසක් පිළිබඳ ඔබට අවබෝධ කරගන්නට හැකි වේවි.

කෙසේ වෙතත් ඇතැමුන් සමාජය ඉදිරියේ දී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට කම්මැලි සහ ලැජ්ජා වෙනවා. හරි දේ හරි අයුරින් සිදු කිරීම ලැජ්ජා වන්නට හෝ කම්මැලි වන්නට හේතුවක් නොවන අතර ඔබ ඔබට ආදරය කරන්නේ නම්, ඔබ ඔබේ සමීපතමයින්ට ආදරය කරන්නේ නම් සෞඛ්‍ය පිළිවෙත් ඉටු කිරීමට වෙනත් කිසිදු හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ.

සරළව පැවසුවහොත් අප සැවොම එක් වී පිරිසිදුකමත් විනීතකමත් රැකගතහොත් කොරෝනා වෛරසයෙන් ඔබත් ඔබේ පවුලත් ආරක්ෂා කරගැනීමට හැකිවනවා පමණක් නොව පවතින වසංගත තත්ත්වයත් ඉක්මනින්ම තුරන් කර ගැනීමට හැකි වේවි.

✍ සහන් පද්මසංඛ පීරිස්

Sahan Peiris
Sahan is an award winning blogger (Nelum Yaya Blogger Awards-2015), a journalist and a web/graphic designer. He became a blogger in 2009 and began working as a journalist in 2015. Sahan studied computer science for his higher education and currently working as a freelancer.

More Articles

error: Content is protected !!