ඔසප් වීමේ දී මේ ලක්ෂණ ඇත්නම් බල බල ඉන්න එපා

ඔබේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇති වෙන වෙනස්කම්, ඔබේ සිරුර තුළ මේවන විට පවතින ලෙඩ රෝග මෙන්ම අනාගතයේ ඇති වෙන්නට පුළුවන් ලෙඩ රෝග ගැනත් ඉඟි සපයනවා වන්නට පුලුවන්.

ඔසප් වීම කියන්නෙ වැඩිවියට පත් වුණු දැරියකට හෝ තරුණියකට අමුතු දෙයක් නම් නොවෙයි. එහෙත් එය පහසු දෙයකුත් නොවන බව කාන්තා අපි කවුරුත් දන්න දෙයක්. ඔසප් වීම යනු වැඩිවියට පත් වුණු දිනයේ පටන් කාන්තා සිරුරෙහි මාසිකව ඇතිවෙන සාමාන්‍ය සංසිද්ධියක් වුණත් සෑම දැරියක්ම, තරුණියක්ම, කාන්තාවක්ම තම ඔසප් චක්‍රය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුයි.

Image: Polina Zimmerman

ඔබේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇති වෙන වෙනස්කම්, ඔබේ සිරුර තුළ මේවන විට පවතින ලෙඩ රෝග මෙන්ම අනාගතයේ ඇති වෙන්නට පුළුවන් ලෙඩ රෝග ගැනත් ඉඟි සපයනවා වන්නට පුලුවන්. ඒ වගේම ඔබේ ඔසප් වීම සාමාන්‍ය පරිදි සිදුවන බවට ඔබ සිතා සිටියත් එය එසේ නොවන්නටත් පුළුවන්. විශේෂයෙන්ම ඔසප් වීමේ දී මාසිකව රුධිරය පිටවීම සාමාන්‍ය ලෙස සිදුවන්නේද, අසාමාන්‍ය ලෙස සිදුවන්නේද යන්න ගැන සමහර විට ඔබට අවබෝධයක් නොතිබෙනවා ඇති.  අපි මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඔසප් වීමේ දී අධික රුධිර වහනය සිදුවීම, එහි අයහපත් ප්‍රතිඵල, මෙම තත්ත්වය හඳුණාගන්නේ කෙසේද සහ එයට පිළියම් මොනවාද යන කාරණා යි.

මොකක් ද මේ ඔසප් වීම?

ගැහැණු දරුවෙකු ළමා වියේ සිට යොවුන් වියට පැමිණෙන විට ශරීරයේ බාහිර පෙනුම වගේම ශරීර අභ්‍යන්තරයේත් වෙනස්කම් රැසක් සිදුවෙනවා. විශේෂයෙන් ළමා වියේ දී නොතිබුණු වැඩිහිටි වයසට අදාළ වුණු විශේෂ හෝමෝන ක්‍රියාකාරීත්වයක් යොවුන් වියට පා තබනවාත් සමගම ගැහැණු දරුවෙකු ගේ සිරුර තුළ සක්‍රීය වෙන්නට පටන් ගන්නවා. මල්වර වීම කියලා අපි හඳුන්වන පළමු ඔසප් වීමට මෙන්ම ඉන් පසුව ක්‍රියාත්මකවන ඔසප් චක්‍රයටත් හේතු වන්නේ මේ හෝමෝන ක්‍රියාකාරීත්වය යි. මොළයේ හයිපොතැලමසින් පාලනය වෙන මේ වැඩිහිටි වියට අදාළ හෝමෝන ක්‍රියාකාරීත්වයේ දී මූලික වශයෙන් හෝමෝන පිට වෙන්නේ ඩිම්බ කෝශ මගින්. ඒ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන්නෙ මේ හෝමෝන දෙක යි. මේවා ශරීරයේ විවිධ ස්ථානවල විවිධ විදිහට ක්‍රියාත්මක වෙනවා.

කාන්තා ප්‍රජනක පද්ධතියේ ප්‍රධානම කොටසක් වුණු ගර්භාශයේ ඇතුළත බිත්තිය ආවරණය වෙලා තියෙන්නේ ඉතාමත් තුනී සෛල ස්ථරයකින් සෑදුණු පටකයක් මගින්. කාන්තාවක් ගැබ් ගැනීමේ දී කළලය තැන්පත් වෙන්නේත් මේ තුනී පටකයේ යි. මේ පටකයටත් අපි කලින් කතා කරපු කාන්තා හෝමෝන වර්ග දෙක බලපෑම් ඇති කරවනවා. සරළව කිව්වොත් කළලයක් සාර්ථකව තැන්පත් වෙන්න නම් ගර්භාශයේ ඇතුලත බිත්තියෙහි නැවුම් සෛල ස්ථරයක් තිබිය යුතුම යි.

Image: Wikimedia

ඉතින් කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් පිට වුණත්, ඒ ඩිම්බය සමග එකතු වෙන්න පිරිමි ශුක්‍රාණුවක් ආවේ නැත්නම් මාසයකට පස්සේ ගර්භාශයේ ඇතුලත බිත්තියේ පිහිටි තුනී සෛල ස්ථරයෙන් හැදුණු පටකය ගර්භාශ බිත්තියෙන් කඩා ඉවත් කරලා, අලුත් සෛල ස්ථරයක් නිර්මාණය කරන්නේ අපි කලින් කිව්ව හෝමෝන මගින් තමයි. තුනී සෛල ස්ථරයෙන් නිර්මාණය වුණ පටකය ගර්භාශ බිත්තියෙන් කැඩී යාමේ දී රුධිර වහනයක් ද සිදුවන අතර ඔසප් වීම යනුවෙන් හඳුන්වන්නේ එම පටක කැබලි රුධිරය සමග කාන්තාවකගේ සිරුරෙන් බැහැර වීම යි. මැදි වියේ දී කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතර වීම හෙවත් ආර්තවහරණය දක්වාම මසකට වරක් බැගින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ සිදුවනවා.

අධික රුධිර වහනය

ඔසප් වීමේ දී රුධිරය පිටවීම සාමාන්‍ය දෙයක් වුණත් ඇතැම් දැරියන්ගේ සහ තරුණියන්ගේ රුධිර වහනයේ වැඩිවීමක් දක්නට හැකියි. ඇතැමුන්ට මෙලෙස අධික රුධිර වහනයක් සිදු වීම මුල් ඔසප් වීම් සිදු වූ කාලයේ සිටම සිදුවන අතර තවත් අයට හදිසියේ හටගන්නා තත්ත්වයක් ලෙසින් බලපානු ලබනවා. මෙම තත්ත්වය වෛද්‍ය ක්ෂේත්‍රයේ දී හඳුන්වන්නේ “මෙනොරේජියා” (Menorrhagia) නමින්. කෙසේ වෙතත් බොහෝ තැනැත්තියන් මෙලෙස අධික රුධිර වහනයක් සිදු වීම පිළිබඳ අවධානයක් නොදක්වන බව ද පෙනෙන්නට තිබෙනවා.

Image: Cliff Booth

අධික රුධිර වහනය හඳුණාගන්නේ කොහොමද?

සාමාන්‍ය ඔසප් චක්‍රයක දී මිලිලීටර 30-40ක රුධිර ප්‍රමාණයක් කාන්තාවකගේ සිරුරෙන් වහනය වනවා. එහෙත් ඔසප් වීමේ දී අධික රුධිර වහනය සිදුවන විට සිරුරෙන් මිලිලීටර 80කට වඩා වැඩි රුධිර ප්‍රමාණයක් පිටවීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත්, තමන් ඔසප් වීමේ දී අධිකව රුධිරය වහනය වෙනවා දැයි බැලු බැල්මටම හඳුණාගන්නට අපහසු නම් ලක්ෂණ කිහිපයක් ඔස්සේ එය හඳුණාගත හැකියි.

  • එක් ඔසප් චක්‍රයක රුධිර වහනය දින 7කට වඩා පැවතීම.
  • ඔසප් දිනක දී සාමාන්‍යයෙන් භාවිතවන සනීපාරක්ෂක තුවා ප්‍රමාණයට වඩා වැඩි තුවා ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුවීම.
  • සනීපාරක්ෂක තුවා කෙටි කාලයක් තුළ මාරු කිරීමට සිදුවීම.
  • එක වර සනීපාරක්ෂක තුවා දෙකක් භාවිත කිරීමට සිදුවීම.
  • රාත්‍රී නින්දෙන් පසු සනීපාරක්ෂක තුවායෙන් පිටතටත් රුධිරය වහනය වී තිබීම.

මෙවන් ලක්ෂණයක් හෝ කිහිපයක් පවතින්නේ නම් අධික රුධිර වහනයක් සේ සළකන්නට පුලුවන්.

අධික රුධිර වහනය වේ නම් මොකද කරන්නේ?

තමන්ගේ ඔසප් චක්‍රයේ දී අධික රුධිර වහනය සිදුවන බවට ඔබ සිතන්නේ කළ යුතු මුල්ම දෙය වන්නේ වෛද්‍යවරයෙකු හමු වීමයි. ඇතැම් විට මෙලෙස අධිකව රුධිරය වහනය වීම පිටුපස යම් රෝගී තත්ත්වයක් තිබිය හැකි වීම ඊට ප්‍රධානතම හේතුවයි. රෝගී තත්ත්වයක් නොතිබුණත්, සිරුරෙන් අධිකව රුධිරය පිටවීම හේතුවෙන් ලැබිය හැකි අයහපත් ප්‍රතිපල ද තිබෙන හෙයින් වෛද්‍ය උපදෙස් පැතීමයි කළ යුතුම දෙය වන්නේ. සිදුවිය අධික රුධිර වහනය පමණක් නොව, ඔසප් චක්‍රයේ කුමන හෝ අසාමාන්‍යතාවක් නිරීක්ෂණය වන්නේ නම් ඔබ ඒ පිළිබඳව වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම සුදුසු බවත් සිහිපත් කළ යුතුයි.

හේතු මොනවාද?

හුරුපුරුදු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රුධිරය පිට වීම බොහෝ විට කාන්තාවන්ට බලපාන සාමාන්‍ය දෙයක්. බොහෝ විට රෝග ලෙස හැඳින්වීමට අවශ්‍ය නොවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකියි. ඒ නිසා තමන්ගේ ඔසප් වීමේ දී අධික රුධිර වහනය සිදුවන බවට ඔබට සිතෙන්නේ නම්, ඒ පිළිබඳව එක වරම අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

කෙසේ වෙතත් විවිධ වූ රෝගාබාධ හේතුවෙන් ද මෙම තත්ත්වය ඇති විය හැකියි. ඩිම්බ පිට නොවීම, රුධිරය කැටි නොගැසීමට හේතුවන රෝග, හෝමෝන සම්බන්ධ රෝග, වකුගඩු හෝ අක්මාව ආශ්‍රිත රෝග සහ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකා තත්ත්ව හේතුවෙන් ද අධික රුධිර වහනය සිදුවිය හැකියි. තව ද ගර්භාශයේ හටගන්නා ‘ෆයිබ්‍රොයිඩ්’ සහ ‘ඇඩිනොමයෝසීස්’ වැනි රෝග තත්ත්ව නිසාත් මෙවැනි රුධිර වහනයක් සිදු විය හැකියි. ප්‍රජනක පද්ධතියට ඇතුළත් අවයව වල අසාමාන්‍යතා පැවතීම හේතුවෙනුත් මෙම තත්ත්වය ඇති වීමේ ඉඩ කඩ තිබෙනවා.

එමෙන්ම ඇස්ප්‍රීන් වැනි ලේ කැටිගැසීමට බාධා ඇති කරන ඖෂධ වර්ග නිසාත් වැඩි රුධිර වහනයක් සිදුවෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ගර්භාශය ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග වර්ග තරුණ වයසේ පසුවන්නියන්ට වැළඳෙන්නේ ඉතා අඩුවෙන්. එහෙත් තරුණ විය පසු කරන කාන්තාවන්ට මෙම රෝගී තත්ත්ව හටගැනීමේ අවදානම තරමක් වැඩියි. කොහොම වුණත්  කාන්තාවක් හට ඔසප් වීමේ දී අධිකව රුධිර පිටවීම සිදු වේ නම් වෛද්‍යවරයෙකු හමු වීම අනිවාර්ය වන්නේ, එලෙස අධික රුධිර පිටවීම සිදුවන්නේ සාමාන්‍ය ලෙස ද, එසේත් නොමැති නම් රෝගාබාධයක් නිසා ද යන්න වෛද්‍ය විද්‍යා දැනුමකින් තොරව බැලු බැල්මට අපට හඳුණාගත නොහැකි නිසා යි.

අධික රුධිර වහනයේ ප්‍රතිඵල

රුධිරය යනු සිරුරට අත්‍යවශ්‍යම දෙයක්ය යන්න පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් විඩාබර බව, සිරුරට පණ නැති ගතිය, හිසරදය, කෙටි හුස්ම වැටීම සහ හම සුදුමැලි වීම වැනි තත්ත්ව මූලික වශයෙන් ඇතිවිය හැකියි. ඒ වගේම විජලනය වගේ තත්ත්වයක් වුණත් ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස්වලට යොමු නොවී දිගු කාලයක් තිස්සේ ඔසප් චක්‍රයේදී අධිකව රුධිරය පිටවන්නේ නම් දැරියකට හෝ කාන්තාවකට රක්තහීනතාවය, යකඩ ඌණතාවය සහ විටමින් ඌණතාවය වැනි ගැටළු ඇති වීමේ හැකියාව පවතිනවා.

පරීක්ෂා කිරීම

ඔසප් චක්‍රයේ දී අධික ලෙස රුධිරය පිටවන්නේ නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම සුදුසු බව අප ඔබට මීට පෙරත් පැවසුවා. එලෙස දැරියක් හෝ කාන්තාවක් වෛද්‍යවරයෙකු හමු වූ විට ඔහු විසින් මෙම තත්ත්වයට හේතු විශේෂ හේතු ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනවා. යොවුන්/තරුණ වයස්වල සිටින්නියන් හට බොහෝ විට අධික රුධිර වහනය ඇති වන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් නොවීමට පුළුවන්. එහෙත් යම් අවස්ථාවක දී ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි වෛද්‍යවරයා නිගමනය කළ හොත් ඔහු ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇති.

එමෙන්ම ගර්භාශයේ හටගන්නා ‘ෆයිබ්‍රොයිඩ්’ සහ ‘ඇඩිනොමයෝසීස්’ වැනි රෝග තත්ත්ව වැළඳීමේ අවධානම ද තරුණ වියේ පසුවන්නියන්ට බෙහෙවින් අඩු අතර එම අවධානම බොහෝ සෙයින් ඇත්තේ තරුණ විය පසු කළ කාන්තාවන් හට යි. එපමණක් නොව, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත තවත් විවිධ රෝගී තත්ත්ව ඇතිවීමේ අවධානම වයස්ගත වීමත් සමග වැඩි වනවා. මේ නිසා වැඩිහිටි කාන්තාවකගේ ඔසප් වීමේ දී අධික රුධිර වහනය සිදුවන්නේ නම් ඇයව අනිවාර්යෙන්ම ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට වෛද්‍යවරයා කටයුතු කරනවා. එමෙන්ම මෙලෙස අධිකව රුධිරය සිරුරෙන් පිටතට ගලා යාමට හේතුව වන්නේ රුධිරය කැටි ගැසීමේ ගැටළුවක් ද යන්න පිළිබඳවත් විශේෂයෙන්ම සොයා බැලීම සිදු කෙරෙනවා.

ප්‍රතිකාර

අධික රුධිර වහනය දිගු කලක් තිස්සේ පැවතුනේ නම්, ඒ හේතුවෙන් රක්තහීනතාවය, යකඩ සහ විටමින් උණතා ආදිය හටගෙන තිබේද යන්න පිිළිබඳවත් සොයා බලා ඊට අවශ්‍ය උපදෙස් ද වෛද්‍යවරයා විසින් ලබාදෙනවා. මෙහි දී විශේෂයෙන් යකඩ, විටමින් අඩංගු ඖෂධ නියම කරනවා. එමෙන්ම ඔසප් වීම සමග අධික රුධිර වහනය සමග රෝගී තත්ත්වයක සබඳතාවක් ඇති බවට වෛද්‍යවරයා හඳුණා ගතහොත් අදාළ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පියවර වෛද්‍යවරයා විසින් වහාම ගනු ලබනවා.

මේ අතර අධික රුධිරය පිටවීම සීමා කිරීමට මූලිකව සිදු කරන ප්‍රතිකාර ක්‍රම 02ක් තිබෙනවා. විශේෂයෙන්ම දරුණු රෝගයක ඍජු සබඳතාවකින් තොරව හෝමෝන ගැටළුවක් වැනි හේතුවන් නිසා ඔබ අධික රුධිර වහනයට ලක්වන බව වෛද්‍යවරයා නිරීක්ෂණය කළ හොත් එම අවස්ථාවේ දී ද ඔබව යොමු කරනු ලබන්නේ මෙම ප්‍රතිකාර දෙකෙන් එක් ක්‍රමයක් වෙතටයි.

  1. හෝමෝන ප්‍රතිකාර ක්‍රමය
  2. හෝමෝන නොවන ප්‍රතිකාර ක්‍රමය

මෙම වර්ග දෙකෙහිම ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම මගින් අනාගත දරු පිළිසිඳ ගැනීම්වලට කිසිදු බලපෑමක් ඇති නොවන අතර ඒ පිළිබඳව බියක් ඇති කර ගැනීම ද සිදු කරගත යුතු නැහැ. අඩු වයස්වල පසුවන ගැහැණු දැරියන්ට සහ තරුණියන්ට වුව ද මෙම ප්‍රතිකාර ක්‍රම භාවිත වන්නේ එම නිසා යි.

හෝමෝන ප්‍රතිකාර

හෝමෝන ප්‍රතිකාර ක්‍රමයේ දී සිදුවන්නේ ඊස්ට්‍රජන් හෝ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වර්ග ශරීරයට බාහිරින් ලබා දීමයි.

හෝමෝන ක්‍රමයට අයත් ප්‍රතිකාරයක් වන “අන්තර් ගර්භාශ තැන්පතුව” හෙවත් ගර්භාශය තුළ හෝමෝන අඩංගු ඉතා කුඩා “ලූපයක්” තැන්පත් කිරීමේ ක්‍රමය සිදුකරනු ලබන්නේ වැඩිහිටි කාන්තාවන්ට වන අතර එය තරුණ හෝ යොවුන් දැරියන්ට නොගැලපෙන්නක් ලෙස හැඳින්විය හැකියි.

තරුණ හෝ යොවුන් වයසේ සිටින්නියන්ට සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ හෝමෝන වර්ග පෙති ලෙස ලබා දීමයි. බොහෝ විට මෙහි දී හෝමෝන පෙති ලෙස යොදා ගන්නේ අප සැවොම දන්නා උපත් පාලන පෙති යි. හෝමෝන පෙති ලබා ගැනීම සිය ඔසප් කාලය ගැන නොසිතා දිගුකාලීනව ගත යුතුවන අතර බොහෝ විට මේවා දිනපතා නියමිත වේලාවක දී ගත යුතුවනවා. කෙසේ වෙතත් මෙලෙස පෙති ලබාගැනීම සිදු කළ යුත්තේ අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් මත යි. හෝමෝන පෙති හෝ හෝමොන පෙති ලෙස උපත් පාලන පෙති හෝ දිගුකාලීනව ලබා ගැනීමෙන් අතුරු ආබාධ ද හට ගැනීම ඉතා අවමවන අතර පෙතිවල අඩංගු හෝමෝන කෙටි කාලයක් පමණක් ශරීරගතව පැවතීම නිසා දරුවෙකු බලාපොරොත්තුවන අවස්ථාවක දී පෙති ලබා ගැනීම නවතා දැමීම සරළව සිදු කළ හැකි යි.

හෝමෝන නොවන ප්‍රතිකාර

හෝමොන නොවන ක්‍රමයේ දී “ට්‍රැනසමික් ඇසිඩ්” හෝ “මෙෆනමික් ඇසිඩ්” හෝ ඊට සමාන ඖෂධ වර්ග භාවිත කෙරෙනවා. මෙම ඖෂධ දිනපතා ලබා ගැනීම කළ යුතු නැති අතර ඒවා ලබා ගත යුත්තේ රුධිර වහනය ආරම්භවන අවස්ථාවේ දීයි. ඔසප් වීම ඇරඹී දින 5ක් පමණ ගතවන තුරු මෙම ඖෂධ ලබාගත යුතු වනවා. මෙම ඖෂධ වර්ගවල ද අතුරු ආබාධ අඩු අතර දිගු කාලීනව භාවිත කිරීමේ හැකියාව ද පවතිනවා.

ඔසප් වීම නතර කිරීම

අධික රුධිර වහනයේ ප්‍රතිඵල ලෙස රක්තහීනතාවය සහ වෙනත් ඌණතා ඇති විය හැකි බව මා ඉහත දී පැහැදිළි කළා. කාන්තාවක් එවැනි තත්ත්වයකට පත් වුවහොත් ඇතැම්විට තාවකාලිකව ඔසප් වීම නවැත්වීමට වෛද්‍යවරයා කටයුතු කරන්නට පුලුවන්. හෝමෝන මගින් මෙය සිදු කරන අතර මාස තුනකට හෝ හයකට ඔසප් වීම නවතා තැබීම බොහෝ විට සිදු කරනවා.

සැත්කම්

ඇතැම් දුලබ අවස්ථාවන්හී දී ඉහත පැවසූ ප්‍රතිකාර ක්‍රමවලින් ඔබ්බට ගොස් සැත්කම් සඳහා යොමු වීමට ද වෛද්‍යවරුන් නියම කරන්නට පුලුවන්. ගර්භාශ ඇතුළු බිත්තියේ කොටස් ඉවත් කිරීම, ගර්භාෂය ආශ්‍රිතව හටගන්නා ගෙඩි ආදිය ඉවත් කිරීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති අසාමාන්‍යතා නිවැරදි කිරීම ආදිය සිදු කිරීමට අවශ්‍ය සැත්කම් මෙලෙස සිදු කරනවා.

Image: Vidal Balielo Jr.

මෙම සැත්කම්වල දී අනාගත දරු උපතකට ඇති හැකියාව රැක ගැනීමට විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. කෙසේ වෙතත් දරුණු රෝගාබාධවල දී හෝ අදාළ කාන්තාවට තවදුරටත් දරුවන් අවශ්‍ය නොමැති නම් සම්පූර්ණ ගර්භාශයම ඉවත් කිරීමේ සැත්කම් ද සිදු කිරීමට පුලුවන්. ගර්භාශය ඉවත් කළ පසු යළි ඔසප් වීම සිදු වන්නේ නැහැ.

ඔසප් වීම සහ ඒ ආශ්‍රිතව කුමන හෝ අසාමාන්‍යබවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට මැලි නොවන ලෙසත්, කුමන හෝ තත්ත්වයක දී ඖෂධ හෝ ප්‍රතිකාර ලබා ගැනීම පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව පමණක් සිදු කළ යුතු බවටත් අප ඔබට අවසානයේ දී ද නැවතත් විශේෂයෙන් සිහිපත් කරනවා.

✍️ සමාධි රත්නායක

error: Content is protected !!