පූසෙකු ගුවන් යානයක් බිමට ගෙන එයි

එන්ජින් දෝශ, හදිසියේ අසනීපවන මගීන් සහ වෙනත් අනතුරු හේතුවෙන් හදිසි ගොඩබෑම්වලට ලක් කෙරෙන ගුවන් යානා පිළිබඳ පුවත් අප බොහෝ සෙයින් අසා තිබෙනවා. එහෙත් මෙම පුවතට අයත් ගුවන් යානය හදිසියේ ගොඩබෑමට හේතුව වී ඇත්තේ බළලෙක් මිස ඉහත හේතු කිසිවක් නොවෙයි.

මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ “ටාකෝ ගුවන් සේවයට” (Tarco Airlines) මගී ගුවන් යානයක්වන අතර එය ගමන් අරඹා ඇත්තේ සුඩානයේ “කර්ටෝම්” (Khartoum) ගුවන් තොටුපොළෙහි සිට කටාර්හි දෝහා දක්වා පියාසර කිරීමට යි. යානය ගුවනට එසවී විනාඩි කිහිපයකින් එය තුළ මහත් කළබලයක් ඇතිව තිබෙනවා.

ඒ, ගුවන් යානයේ නියමු කුටිය තුළට බළලෙකු ඇතුළු වීම හේතුවෙන්. නියමු කුටිය වෙත පිවිසි බළලා එහි සිටි ගුවන් නියමුවන් සපා කෑමටත්, සීරීමටත් ක්‍රියා කර ඇති අතර බළලා අල්ලා ගැනීම ද අපහසු වී ඇත්තේ ඌ නියමු කුටිය තුළ වේගයෙන් එහා මෙහා පැනීම නිසා යි. මෙම තත්ත්වයත් සමග යළි යානය හරවා හදිසි ගොඩබෑමකට ලක් කිරීමට නියමුවන් තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව පරීක්ෂණ සිදුකළ කණ්ඩායම් ප්‍රථමයෙන් සැක කොට ඇත්තේ යානයේ ගමන්ගත් මගියෙකු විසින් හොර රහසේ රැගෙන යාමට තැත් කළ බළලෙකු මෙලෙස නියමු කුටියට කඩාවැදී ඇති බවට යි. ගුවන් ගමනට පෙර දින යානය ගුවන් තොටුපොළෙහි නවතා තබා දොරටු විවෘත කර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කොට ඇති අතර එම අවස්ථාවේ දී අදාළ බළලා ගුවන් යානය තුළට රිංගා ඇති බවට යි පසුව අනාවරණය වී ඇත්තේ.

බළල් ප්‍රහාරයෙන් ගුවන් නියමුවන් හට සැළකිය යුතු තුවාළ සිදුවී නොමැති අතර යානය ගුවන්ගත වීමේ දී කළබලයට පත් වීම හේතුවෙන් බළලා මෙලෙස හැසිරී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

error: Content is protected !!