කොවිඩ් මළ සිරුරු දූපතකට ගෙන යයි

කොවිඩ් 19 ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් භූමිදානය සඳහා දූපතක් වෙත ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ “ඉරණතිව්” දූපත යි. මේ බව අනාවරණය වූයේ අද (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දියි.

මේවන විට ඉරණතිව් දූපත කොවිඩ් මෘතදේහ භූමිදානය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් කොට ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා. එය සිදු කිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට අනුගත වී විද්‍යාත්මක පදනමක් මත බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම මෘතදේහ අදාළ දූපතට ගෙනගොස් භූමිදාන කිරීමේ කටයුතු සියල්ල රජයේ වියදමෙන් සිදුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉරණතිව් යනු උතුරු පළාතේ, කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් දූපතක් වන අතර එහි ද්‍රවිඩ ජනාවාසයක් ද පවතිනවා.

කොවිඩ් 19 ආසාදනය වී මියයන මෙරට පුද්ගලයින්ගේ මෘතදේහ අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට මේවන තෙක් රජය පියවර ගෙන තිබූයේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙසයි. එහෙත් ආදාහනය සිය ආගමික මතවාදයන්ට එරෙහි බව පවසමින් ඉස්ලාම් ප්‍රජාවගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්. මෙම තත්ත්වයත් සමග සුළු ජාතීන්ගේ ආගමික අයිතීන්ට ගරු කරන ලෙස පවසමින් ජාත්‍යන්තර ප්‍රජාව ද ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නට වූවා. කොවිඩ් මෘතදේහ භූමිදානය කිරීමට රජය පියවර ගත්තේ මෙවන් පසුබිමක දී යි.

error: Content is protected !!