සියළු ජාතික හැඳුනුම්පත් ඔන්ලයින් ක්‍රමයට තහවුරු කරයි

මෙරට ජාතික හැඳුනුම්පත් හිමි සියළු දෙනාගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමවේදයක් යටතේ තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබෙනවා. ඒ, ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කොට ගෙනයි.

මෙම ක්‍රියාවලිය තුළින් මෙරට රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල, බැංකු ඇතුළු මූල්‍ය ආයතන, දුරකතන සේවා ආයතන රක්ෂණ සමාගම් ආදී ආයතනවලින් සේවා අවශ්‍යතා ඉටු කරගැනීමේ දී සේවාලාභී මහජනතාව හට අමතර ක්‍රමවේදයකින් තොරව ඔන්ලයින් ක්‍රමවේදය යටතේ සිය හැඳුණුම්පතෙහි තොරතුරු අදාළ ආයතනය ඉදිරියේ සහතික කිරීමේ හැකියාව උදා වනවා. මෙය සිදුවන්නේ සේවාලාභියාගේ පූර්ණ කැමැත්ත මත පමණයි.

මෙවන් ක්‍රමවේදයක් තුළින් පුද්ගල අනන්‍යතාව වඩාත් විශ්වාසවන්තව සහ නිවැරදිව තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන බැවින්, රාජ්‍ය හා පුද්ගලික ආයතනවලින් ලබා දෙන මහජන සේවා වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කිරීමට හැකිවන අතර මෙරට පුරවැසියන්ගේ දත්ත ද්වී වීම (Data Duplication) වළක්වා ගැනීමට මෙන්ම විවිධ වංචනික ක්‍රියාවන් වලක්වා ගැනීමට ද මෙය ඉවහල් වනු ඇති.

මේවන විටත් මෙම වැඩපිළිවෙල සමග ලංකා බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HSBC බැංකුව, SBI බැංකුව, ඩයලොග් මූල්‍ය ආයතනය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව (කොටස් වෙළඳ පොළ) යන ආයතන ගිවිසුම් ගත වී තිබෙනවා. එමෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ වැලිබල් ෆිනෑන්ස් යනාදී තවත් ආයතන රැසක් ද ඉදිරියේ දී මෙම වැඩපිළිවෙල සමග ගිවිසුම්ගත වීමට නියමිතව ඇති බව සඳහන්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම ක්‍රමවේදය සකස් කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) තාක්ෂණික දායකත්වයත් සමග යි.

error: Content is protected !!