වැඩිහිටියන්ට දීමට එන්නතක් දිවයිනට

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා 264,000ක් අද අළුයම දිවයිනට ගෙන එනු ලැබුවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආවේ එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින්. මෙම එන්නත් ශ්‍රී ලංකාව වෙත ලැබෙන්නේ යුනිසෙෆ් සංවිධානයේ COVAX පහසුකම හරහා යි.

මෙම එන්නත් ඉන්දියාවේ මුම්බායි නගරයේ සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා ඇති අතර ඒවා රැගෙන එනු ලැබූවේ ගුවන් යානයේ ශීතකරණ තුළ තැන්පත් කරගෙන යි. එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපලෙහි ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කරනු ලැබුවා.

අද දින මෙරටට ලැබුණු මෙම එන්නත් මාත්‍රා 264,000 මෙරට වැඩිහිටි ප්‍රජාව සඳහා බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මුල් අවස්ථාවේ දී සැළසුම් කොට ඇත්තේ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් වඩාත්ම අවදාමට පත් ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩ වල පුද්ගලයින් සඳහා මෙම මාත්‍රා ලබා දීමට යි. එම එන්නත් වැඩසටහන සඳුදා (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.

එන්නත් තොගය එලෙස ලබා දීමෙන් පසුව ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවන අතර ඉන්පසුව එම සංවිධානය COVAX පහසුකම යටතේ පිරිනමන දෙවන එන්නත් තොගය ශ්‍රී ලංකාව වෙත එවීමට නියමිතව තිබෙනවා. COVAX පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සම්පූර්ණ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය මිලියන 1.44ක් වනවා. එම එන්නත් ප්‍රමාණය මෙරට ජනගහනයෙන් 20%ක් සඳහා ලබා දීමේ හැකියාව පවතිනවා.

Mesalaa M.S.
Mesalaa is a journalist at a mainstream news website in Sri Lanka. And she holds a Diploma in Journalism from the School of Media Arts & Management. Mesalaa is working with Widusara as a part-time writer.

More Articles

error: Content is protected !!