පාකිස්තානය තුළ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල අවහිරයි

Featured Image:Arif Ali, AFP

සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි රැසක් අද (16) පස්වරුවේ සිට එරට අවහිර කෙරුණා.

පාකිස්තාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ “තහ්රීක්-ඊ-ලබායික්” නමැති අන්තවාදී සංවිධානයක් විසින් සමාජ ජාල යොදා ගනිමින් මහජනතාව කුපිත කරවා ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් ඇති කරවීම හේතුවෙන්.

ඒ අනුව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය වෙත නියෝග කර ඇත්තේ අද (16) පස්වරු 3.00 සිට සමාජ ජාල අවහිර කිරීමට කටයුතු යොදන ලෙසයි.

කෙසේ වෙතත් මෙම අවහිර කිරීම තාවකාලික එකක් බව ද පාකිස්තාන බලධාරීන් අවධාරණය කරනවා.

මෙම සතිය තුළ හටගත් නොසංසුන් තත්ත්ව හේතුවෙන් පාකිස්තානය දෙදරා ගිය අතර මෙම සිදුවීම්වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මරණයට පත්ව තවත් 600කට අධික පිරිසක් තුවාළ ලබා තිබෙනවා.

තුවාළ ලැබූවන්ගෙන් 200කගේ පමණ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ප්‍රංශයේ මුද්‍රිත මාධ්‍ය තුළ පළ වූ කාටූන් චිත්‍රයක් හරහා මොහොමඩ් නබිතුමා හට අගෞරව වන බව පවසමින් “තහ්රීක්-ඊ-ලබායික්” නමැති සංවිධානය මෙලෙස කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

මෙම තත්ත්වයත් සමග පාකිස්තානයේ ප්‍රංශ තානාපති කාර්යාලය වෙත අමතර ආරක්ෂාවක් ද ලබා දී ඇති අතර එම ගොඩනැගිල්ලේ තාප්ප වටා භාණ්ඩ බහාලුම් කන්ටේනර් යොදා ගනිමින් බාධක පවුරක් ද සකසා ඇති බව සඳහන්.

එමෙන්ම පාකිස්තාන තුළ සිටින ප්‍රංශ ජාතිකයින් හට එම තානාපති කාර්යාලය දැනුම් දී ඇත්තේ ආරක්ෂාව තකා වහාම පාකිස්තානයෙන් පිටවන ලෙසට යි.

error: Content is protected !!