කොවිඩ් එන්නත වසරකට වරක් ගැනීමට සිදුවෙයිද?

ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කළ “ෆයිසර්-බයෝන්ටෙක්” (Pfizer-BioNTech) කොවිඩ්-19 එන්නතෙහි තෙවන මාත්‍රාවක් ද ඇතැම්විට ජනතාවට ලබා දීමට සිදුවිය හැකි බව එම සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෞර්ලා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ CNBC රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

මෙම තෙවැනි මාත්‍රාව මාස 06 සිට මාස 12 දක්වා කාලය ඇතුලත ලබා දීමට සිදුවනු ඇති බවට යි ඔහු අනාවැකි පළ කළේ.

යම් හෙයකින් එලෙස තෙවැනි මාත්‍රාවක් ලබා දීමට සිදුවුව හොත් ෆයිසර් එන්නත භාවිත කරන ලොව පුරා රටවල්වලට තවත් අමතර වියදමක් දැරීමට සිදුවනු ඇති.

ෆයිසර් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෞර්ලා

එමෙන්ම අදාළ රූපවාහිනී වැඩසටහන අතරතුරේ දී ෆයිසර් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් විට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය වාර්ෂිකව සිදු කිරීමට ද ඇතැම්විට සිදුවිය හැකි බවයි.

එලෙස සෑම වසරකම රට වැසියන් සඳහා එන්නත් ලබා දීමට සිදුවුව හොත් ඒ සඳහා සැළකිය යුතු මුදලක් වියදම් කළ යුතු නිසා දුප්පත් රටවල් ආර්ථික ගැටළුවකට ද මුහුණ දීමේ ඉඩකඩක් ඇති බව මේවන විට මත පළ වී තිබෙනවා.

ෆයිසර් සමාගම මෙලෙස මත පළ කරන්නේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් සිරුර තුළ කොතරම් කාලයක් සක්‍රීයව පවතින්නේ දැයි පර්යේෂකයින් නොදත් පසුබිමක යි.

කෙසේ වෙතත් ෆයිසර් සමාගම සඳහන් කරන්නේ ඔවුන්ගේ එන්නත 91%කටත් වඩා සාර්ථක එකක් බවයි. එමෙන්ම සිය එන්නතෙහි දෙවැනි මාත්‍රාවෙන් පසු මාස 06කටත් වඩා කාලයක් එය සිරුර තුළ සක්‍රීයව පවතින බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ එන්නත ලබා ගැනීමෙන් මාස 06කට පසු එය සක්‍රීයව පවතින්නේද යන්න පිළිබඳව මේ මොහොතේ සහතික කිරීමට තරම් දත්ත නොමැති බවයි.

error: Content is protected !!