කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

ඉදිරි පැය කිහිපය තුළ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් එවැනි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව අකුණු පවතින අවස්ථාවන්හි විදුළි උපකරණ භාවිතය සිදු නොකළ යුතුවන අතර ඒවා සවිකොට ඇති පේනුවෙන් (Plug) ගලවා තැබීම සුදුසුවනවා.

තව ද රූපවාහිනී ඇන්ටෙනාවල සිට නිවෙස තුළට පැමිණෙන රැහැන් ද ගලවා නිවසෙන් පිටතට තැබීම සුදුසුවන අතර එම රැහැන් පොළවෙහි හොඳින් ස්පර්ශවන පරිදි තැබීම වඩාත් ආරක්ෂිතයි.

රැහැන් සහිත හෝ රහිත දුරකතන භාවිතය ද අකුණු තත්ත්ව වල දී අනතුරු ගෙන දෙන්නක් වන බැවින් එයින් ද වැළකීම වැදගත්.

එමෙන්ම එළිමහනේ සහ තැනිතලා භූමිවල රැඳී නොසිට ගොඩනැගිල්ලක් තුළ සිටීම වැදගත්වන අතර එවැනි ස්ථානයක් නොමැති අවස්ථාවක දී හොඳින් ආවරණය වූ වාහනයක් තුළ සිටීම සුදුසුයි.

පස්වරුවේ සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි.

පළාත් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

error: Content is protected !!