ජෝජ් ෆ්ලොයිඩ්ගේ තීන්දුව ලැබෙද්දී කලුජාතික දැරියකට පොලිස් වෙඩි

Source:insider
Featured Image:Christopher Salerno

ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ තීන්දුව ඇමරිකාවේ මිනියාපොලිස් අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව තීරණය වුණේ සිද්ධියට සම්බන්ධ ඩෙරික් චවුවින් නමැති 46 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියා මෙම ඝාතනයට වරදකරු බවට යි. 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි මඬුල්ලක් විසින් මෙම තීරණය ගත් අතර ඔහුට දඬුවම් ලෙස වසර 40කට වැඩි සිරදඬුවමක් හිමි වනු ඇති බවට යි ඇමරිකානු මාධ්‍ය පවසන්නේ.

කලු-ඇමරිකානුවෙකු වූ ජෝජ් ෆ්ලොයිඩ් 2020 වසරේ මැයි මස 25 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවේ සොරකමක් කළ බවට චෝදනා නගමින්. එම අවස්ථාවේ දී නිරායුධව සිටි ෆ්ලොයිඩ්ව පොලිස් නිලධාරියෙකු විසින් බිම හෙළා, ඔහුගේ ගෙළ පාගාගෙන සිටින වීඩියෝව ලොව පුරා වේගයෙන් පැතිර ගිය අතර තමන් හට හුස්ම ගැනීමට නොහැකි බව ෆ්ලොයිඩ් කෑගසා පවසන ආකාරය ද එහි පැහැදිළිව සටහන්ව තිබුණා. කෙසේ වෙතත් එය නොතකමින් විනාඩි 9කටත් අධික කාලයක් තිස්සේ පොලිස් නිලධාරියා විසින් ෆ්ලොයිඩ්ගේ ගෙළ පාගාගෙන සිටි අතර එහි දී ඔහු මරණයට පත් වූවා.

කලක් තිස්සේ ඇමරිකාව තුළ කලු ජාතිකයින් ඉලක්ක කර පොලීසිය විසින් එල්ල වූ පීඩනවලට එරෙහි විරෝධය ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග බුර බුරා ඇවිලෙන්නට වූ අතර ඇමරිකාව පුරා දැවැන්ත විරෝධතා මාලාවක් මතු වූවා. එපමණක් නොව මෙම විරෝධතා වෙනත් රටවල්වලට පවා ව්‍යාප්ත වූ අතර ෆ්ලොයිඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් හට දඬුවම් ලබා දී යුක්තිය ඉටු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

අද දිනයේ ප්‍රකාශයට පත් කළ තීන්දුව දෙස ඇමරිකාව පමණක් නොව ජාත්‍යන්තරය පවා ඉතා විමසිල්ලෙන් බලා සිටියා. තීන්දුවත් සමග අද දිනය ඉතිහාසගත වනු ඇති බවට යි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් කලු ජාතිකයින්ට එරෙහිව දියත්වන පොලිස් හිරිහැර සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් එලෙස ප්‍රකාශයට පත් වෙද්දී එරට ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස් නගරයෙන් වාර්තා වන්නේ තවත් කණගාටුදායක සිදුවීමක්.

කොලොම්බස්හි වාසය කළ 16 හැවිරිදි කලුජාතික දැරියක් වෙත පොලීසිය විසින් වෙඩි තබා ඇති බවත් ඉන් අදාළ දැරිය මරණයට පත් වී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන අතර පිහි ඇනුමක් සම්බන්ධව ලැබුණු දැනුම් දීමකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව සඳහන්. කොලොම්බස් පොලීසිය විසින් ද මෙම මරණය තහවුරු කර ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඔවුන් මෙතෙක් කටයුතු කොට නැහැ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට මෙය සිදු වූ අවස්ථාවේ දී දැරිය සතුව උල් ආයුධයක් තිබී ඇති නමුත් පොලීසිය පැමිණි පසු ඇය එය බිමදමා තිබෙනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පොලීසිය විසින් ඇයට කිහිපවරක් වෙඩි තැබූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පෑරුණු තුවාළය ඒ සම්බන්ධ නඩු තීන්දුවත් සමග සුවපත් වනු ඇති බවට අපේක්ෂා කළත් කොලොම්බස්හි සිදුවූ මෙම සිදුවීමත් සමග මහජනතාව අතර යළි නොසන්සුන්තාවක් ඇතිවන්නට ඉඩ ඇති බවට ඇමරිකානු මාධ්‍ය අනතුරු අඟවනවා.

error: Content is protected !!