ලංකාවට ආ චීන නැවක විෂ විකිරණ!!

විකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇතැයි වාර්තා වෙනවා. මෙම නෞකාව චීනයට අයත් එකක් බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් රංජිත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, වහාම වරායෙන් ඉවත්වන ලෙස අදාළ නෞකාවට දැනුම් දී ඇති බවයි.

නෙදර්ලන්තයේ රොටඩෑම් වරායේ සිට චීනයේ ෂැංහයි දක්වා ගමන් යෙදී ඇති මෙම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වී ඇත්තේ එහි එන්ජිමේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන්.

මෙම නෞකාවෙහි, න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන විකිරණශීලී ද්‍රව්‍යයක්වන යුරේනියම් ගබඩා කර ඇති අතර ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව පවසන්නේ එවැනි විකිරණශීලී ද්‍රව්‍යයක් රැගෙන එන්නේ නම් සිය සභාවෙන් අවසර ගත යුතු නමුත් මෙම නෞකාවෙහි දේශීය නියෝජිතයා විසින් ඒ පිළිබඳව නිසි පරිදි සටහන් කරගෙන නොමැති බවයි.

මේ අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ද සඳහන් කරන්නේ මෙම විකිරණශීලී රසායන තොගය පිළිබඳව කල් තියා ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ හම්බන්තොට වරාය පාලන අධිකාරියට හෝ දැනුම් දී නොතිබුණු බවයි.

එමෙන්ම නෞකාව තුළ යුරේනියම් ඇති බවට තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ පරීක්ෂණයකින් පසුව බව ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතෙහි වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාළ නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතුකරන සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුළි ජනන සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේවන විට මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ අවධානය පවා යොමුව තිබෙනවා.

error: Content is protected !!