අඟහරු මත දී තීරණාත්මක අත්හදාබැලීමක් සාර්ථකයි

Featured Image:NASA/JPL-Caltech/USGS

අඟහරු ග්‍රහයා මත දී පළමු වරට ඔක්සිජන් නිපදවීමේ ඓතිහාසික ක්‍රියාව සිදු කිරීමට නාසා ආයතනය සමත් වූවා. ඒ මේවන විට එම ග්‍රහලෝකය මත ස්ථානගත කර ඇති “පර්සවේරන්ස්” (Perseverance) රෝවරය මගින්.

මෙම රෝවරයට ඇතුළත් කර ඇති විවිධ උපාංග අතර “මොක්සි” (MOXIE) නමැති උපකරණයට විශේෂ අවධානයක් යොමුව තිබුණේ එය අනාගත ග්‍රහලෝක ගවේෂණයේ පෙරළියක් බවට පත්විය හැකි නිසා යි. එය ඔප්පු කරමින් එම උපකරණය මගින් අඟහරු මත දී ප්‍රථම වරට කෘත්‍රිමව ඔක්සිජන් නිපදවීමේ අත්හදාබැලීම සාර්ථකව සිදු වූ අතර අනාගතයේ දී මිනිසුන් යොදාගනිමින් අඟහරු මත දී සිදු කිරීමට නියමිත ගවේෂණ සඳහා මෙය යෝධ පියවරක් වනු ඇති.

පර්සවේරන්ස් රෝවරය
පර්සවේරන්ස් රෝවරය | Image Credit: NASA/JPL-Caltech

අඟහරුගේ වායුගෝලය ඉතා තුනී එකක් වන අතර ඉන් 95%ක්ම පිරී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් (CO2) වලින්. මිනිස් ජීවයට අත්‍යාවශ්‍යවන ඔක්සිජන් වායුව එහි වායුගෝලයේ පවතින්නේ 0.14%ක් තරම් අඩු අගයක්.

මෙවන් තත්ත්වයක් මත අනාගත මානව මෙහෙයුම් සඳහා පෘථිවියෙන් ඔක්සිජන් රැගෙන යාමට සිදු වුවහොත් එය අසීරු ක්‍රියාවක්වන බැවින් අඟහරු මත දීම ඔක්සිජන් නිපදවීම පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබුණා. “මොක්සි” යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ ඒ අනුවයි.

එමෙන්ම අභ්‍යවකාශ යානාවල ඉන්ධන සඳහා ද ඔක්සිජන් අත්‍යාවශ්‍ය වන බැවින් මෙය ඉතා වැදගත් පර්යේෂණයක් වූවා.

අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් බිඳහෙළා එහි ඇති ඔක්සිජන් අණු මගින් ඔක්සිජන් වායුව නිපදවීම මෙම උපකරණයෙන් සිදුකරනු ලබනවා.

“මොක්සි” මගින් අඟහරු මත දී පැයක් තුළ ග්‍රෑම් 6ක් පමණ ඔක්සිජන් වායුව නිපදවීමේ හැකියාව පවතිනවා. එය මිනිසෙකු ජීවත් කරවීම සඳහා ප්‍රමාණවත් නොවුණත් මෙය අත්හදාබැලීමක් බැවින් ඉදිරියේ දී මෙම තාක්ෂණය යොදාගෙන වැඩි ඔක්සිජන් ධාරිතාවක් නිපදවීමේ හැකියාව ලැබෙන බවයි නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.

මොක්සි උපාංගය | Image Credit: NASA/JPL-Caltech

එමෙන්ම මිනිසුන් අඟහරු මතට පා තැබීමට වසර දෙකකට පමණ පෙර මෙම තාක්ෂණයෙන් යුතු උපකරණ අඟහරු මත ස්ථානගත කිරීමට නාසා ආයතනය සැළසුම් කර තිබෙනවා. වසර දෙකක් තිස්සේ එම උපකරණ මගින් නිපදවාගනු ලබන ඔක්සිජන් ගබඩා කරගැනීමටත්, මිනිසුන් අඟහරු මතට පැමිණි පසු එලෙස ගබඩා කරගත් ඔක්සිජන් භාවිත කිරීමටත් ඔවුන් අදහස් කරනවා.

අනාගත අඟහරු මානව මෙහෙයුම් සියල්ල “මොක්සි” උපකරණය මගින් සනාථ කළ තාක්ෂණය මත රඳාපවතිනු ඇති බවට ද ඔවුන් මත පළ කරනවා.

ඔක්සිජන් නිපදවීමට අමතරව “පර්සවේරන්ස්” රෝවරය තවත් පර්යේෂණ රැසක් සිදුකරන අතර එම රෝවරය මගින් ඉතිහාසයේ පළමුවරට අඟහරු මත හෙලිකොප්ටරයක් ධාවනය කිරීම ද සාර්ථකව සිදු කිරීමට නාසා ආයතනය සමත් වූවා.

මෙම හෙලිකොප්ටර් අත්හදා බැලීම ද අඟහරු ගවේෂණයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවට යි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

error: Content is protected !!