මොණරාගල PCR වලින් 75%ක් පොසිටිව්!

මොණරාගල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් – 19 වසංගත තත්ත්වය සීග්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

ඒ අනුව අහඹු PCR පරීක්ෂණ එම දිස්ත්‍රික්කය තුළ යුහුසුළුව සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ සිදු කළ PCR පරීක්ෂණවලින් 75%ක් පමණ කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට හඳුණාගෙන ඇති බවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ පවසන්නේ.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාණ්ඩුව, මොණරාගල, බුත්තල යන අධ්‍යාපන කලාපවල පාසල් 15ක් වසා දැමීමට තීරණය වුණා.

ඒ අප්‍රේල් 30 දක්වා යි.

මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බවයි බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි සඳහන් කරන්නේ.

එමෙන්ම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බුත්තල නගරයේ කඩ සාප්පු ද දින දෙකකට වසා දැමීමට එම නගරයේ වෙළඳ සංගමය තීරණය කළා.

error: Content is protected !!