පැය 24 පුරා කොවිඩ් සිරුරු පිළිස්සෙද්දී ඉන්දීය ධනවතුන් රට හැර යයි

Featured Image:Channi Anand

වසංගත තත්ත්වය දරුණු වීමත් සමග ඉන්දියාවේ උද්ගත වී ඇති තත්ත්වය හදවත කම්පාකරවනසුළු එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනොම් පවසනවා. සිය සංවිධානය හැකි සෑම දෙයම සිදු කරන බවත් හටගෙන ඇති ඔක්සිජන් හිඟයට පිළියම් ලෙස ඔක්සිජන් බහාලුම් දහස් ගණනක් ඉන්දියාව වෙත යැවූ බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම සහය අවැසි අවස්ථාවල දී ඉන්දියාව සිය රට සමග සිටි බවත්, එබැවින් මේ මොහොතේ දී ඇමරිකාවේ පූර්ණ සහය ඉන්දියාව වෙත ලැබෙන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින්. ඒ අනුව ඔක්සිජන් සැපයුම්, ජීවිත බේරාගැනීමට අත්‍යාවශ්‍යවන ඖෂධ වර්ග සහ කොවිඩ් 19 එන්නත් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වහාම ඉන්දියාව වෙත යැවීමටයි ඇමරිකානු ජනාධිපතිවරයා මේවන විටත් ක්‍රියා කර ඇත්තේ.

ඇමරිකාව පමණක් නොව එක්සත් රාජධානිය, ජර්මනිය, යුරෝපා කොමිසම ආදී රටවල් පමණක් නොව, දේශපාලනික වශයෙන් ඉන්දියාවෙහි සතුරෙකුවන පාකිස්තානය ද මේවන විට ඉන්දියාව වෙත උදව් කිරීම සඳහා සිය දෑත දිගුකොට තිබෙනවා.

ඉන්දියාව තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය මේවන විට පාලනය කළ නොහැකි තරමට දරුණු වී ඇති අතර පැය 24 පුරා මළ සිරුරු ආදාහනය වෙමින් පවතිනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුළ ඉඩකඩ නොමැති වී ඇති අතර මියයන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සඳහා ද ආදාහනාගාර ප්‍රමාණවත් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එම නිසා විවෘත ස්ථාන, උද්‍යාන, සහ රථගාල් ආදිය සිරුරු ආදාහනය කිරීමට යොදාගෙන ඇති බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම රෝහල් සතු ඔක්සිජන් බහාලුම් අවසන් වීමත් සමග එරට තුළ ඔක්සිජන් සඳහා කලුකඩ වෙළඳපොළක් නිර්මාණය වී ඇති අතර ඉන්දීය රුපියල් 6000ක් පමණ වූ කුඩා ඔක්සිජන් ටැංකියක මිල මේවන විට ඉන්දීය රුපියල් 100,000 ඉක්මවා තිබෙනවා. ලාංකීය රුපියල්වලින් එය 260,000කටත් වඩා වැඩි මුදලක් එපමණ මුදලක් ගෙවා මිලට ගැනීමට පවා ඔක්සිජන් ටැංකි සොයා ගැනීම ඉතාමත් අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දියාවේ ධනවත් පුද්ගලයින්ට පවා සිය පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකියාවක් නොමැති තරමට එරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තරමේ රෝගීන් වාර්තා වෙමින් පවතිනවා. මේ හේතුවෙන් එරට ධනවත්ම පුද්ගලයින් පුද්ගලික ජෙට් යානා යොදාගනිමින් රටින් පිටවෙමින් පවතිනවා.

පවතින තත්ත්වය හමුවේ රෝගීන්, රෝගීන්ගේ සමීපතමයින් පමණක් නොව සෞඛ්‍ය සේවකයින් පවා කම්පනයට ලක්ව ඇති අතර පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම නිසා හඬා වැටෙන වෛද්‍යවරුන්ගේ දර්ශන ද ඉන්දියාව තුළ සුලබ වී තිබෙනවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට (පෙ.ව.9.30) ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන මිලියන 17 ඉක්මවා ඇති අතර මරණ ගණන 197,879ක් ලෙස සටහන් වූවා. එමෙන්ම ප්‍රතිශතයක් ලෙස ඉන්දීය ජනතාවගෙන් මිලියනයකට 13,000කටත් වඩා ගණනක් ආසාදිතයින් වාර්තා වනවා.

error: Content is protected !!