ඓතිහාසික සඳ ගමනේ නියමුවා යළි නොඑන්නටම නික්මෙයි

මිනිසෙකු ප්‍රථම වරට හඳ මත පා තැබූ ඇපලෝ 11 මෙහෙයුමේ දී එම යානාවේ නියමුවා ලෙස කටයුතු කළ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 90 වැනි වියෙහි පසු වූවා.

Image: NASA

නීල් ආම්ස්ට්‍රෝං, බස් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් ඓතිහාසික ඇපලෝ 11 මෙහෙයුම සිදු කළේ 1969 වසරේ ජුලි මාසයේ දී.

එහි දී එම තිදෙනා පෘථිවියේ සිට සඳ වෙතට නික්මුණු අතර ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් සඳ මතට ගොඩ වූවා.

සඳ මත පා තැබූ දෙදෙනාට පැවරී තිබූ කාර්යයටත් වඩා බැරෑරුම් රාජකාරියක් කොලින්ස් වෙත පැවරී තිබූ අතර සිය සගයින් දෙදෙනා සඳ මත ගවේෂණයේ යෙදෙද්දී ඔහු මව් යානය සඳ වටා කක්ෂගත කර පාලනය කරමින් චන්ද්‍ර පෘෂ්ඨය අහසේ සිට ඡායාරූපගත කරමින්, නිරීක්ෂණය කරමින් සිටියා.

අනතුරුව ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් නැවතත් මව් යානයට නිරුපද්‍රිතව ඇතුළුකර ගැනීම සඳහා ද කොලින්ස්ගෙන් සිදු වූ මෙහෙය අදටත් අගය කෙරෙනවා.

ඇපලෝ මෙහෙයුම්වලට පෙර 1966 දී මයිකල් කොලින්ස් ජෙමිනි මෙහෙයුම් සඳහා ද එක් වී ඇති අතර ඔහු අභ්‍යවකාශ ගවේශණ ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නමක් සටහන් කළ අයෙකු ලෙස හැඳින්වීමට හැකියි.

කොලින්ස්ගේ මරණයට හේතු වී ඇත්තේ පිළිකා තත්ත්වයක්වන අතර ඔහු සිය අවසන් දින කිහිපය පවුලේ ආදරණීයයන් සමග ඉතා සතුටින් ගෙවා දැමූ බව කොලින්ස් පවුල ට්විටර් පණිවිඩයක් ඔස්සේ සඳහන් කොට තිබෙනවා.

ඇපලෝ 11 මෙහෙයුමට එක් වූ නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් (Image: NASA)

error: Content is protected !!