මීටරයේ පරතරය වෙනස් වෙයි

පුද්ගල දුරස්ථභාවයේ දී මීටරයක දුර නොව මීටර 2ක වත් පරතරයක් තබා ගැනීම සුදුසු බව සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා විශේෂඥ කායික රෝග වෛද්‍ය විද්‍යායතනයේ සභාපති වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පවසන්නේ මේවන විට ශ්‍රී ලංකාව පුරා පැතිරයන කොවිඩ් 19 එංගලන්ත ප්‍රභේදය පැතිරීමෙන් සහ ආසාදනය වීමේ හැකියාවෙන් ඉහළ අගයක් ගැනීම නිසා මෙවන් පියවරක් ගැනීම වැදගත්වන බවයි.

දෛනිකව දිවයින තුළ සිදු කෙරෙන 16,000ක් පමණ වූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 1,000කට වඩා වාර්තා වීම මේවන විට සිදුවනවා.

එමෙන්ම මින් පෙර වාර්තා වූ ආසාදිතයින්ට වඩා නව ප්‍රභේදයට ගොදුරු වූවන් රෝග ලක්ෂණ පෙන්වීමෙන් ද වැඩි බවයි විශේෂඥයන් පවසන්නේ.

එලෙස කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්වන්නන් වැඩි වීම හේතුවෙන් ඔවුන්ගේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන බිඳිති හරහා මෙය තවත් පිරිස් වෙත සම්ප්‍රේශණය වීම ද ඉහළ ගොස් ඇති අතර මෙම වෛරස ප්‍රභේදය මුල් වෛරසයට වඩා මිනිස් සිරුරේ සෛල වෙත ඇලීමේ හැකියාවෙන් ද ඉහළයි.

මෙම තත්ත්ව සියල්ල සලකා බලා හැකිතාක් නිවසට වී සිටීමත්, අත්‍යාවශ්‍ය කරුණක දී පමණක් නිවසෙන් පිටතට යන්නේ නම් අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳීම සිදුකිරීමත්, පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 2ක වත් පරතරයක් තබා ගැනීමත් ආදී පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරනවා.

error: Content is protected !!