මෙරට ආසාදිතයින් 10000ක් රෝහල් තුළ – පිරිසක් තවමත් නිවෙස්වල

පසුගිය දින කිහිපය තුළ මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ සිදු වූ සීග්‍ර වැඩි වීමත් සමග මෙරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේවන විට (අප්‍රේල් 30 – ප.ව. 1.30) හමු වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106,484ක්වන අතර රෝහල් තුළ ප්‍රතිකාර ගන්නා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,372ක් වනවා.

වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව රෝහල් ගත ආසාදිතයින් සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මේ අතර නැගෙනහිර කොළඹ මුලික රෝහලේ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව රෝහලට දැරිය හැකි උපරිම ධාරිතාවට පැමිණ ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පවසන්නේ.

එම රෝහලේ කොවිඩ් 19 රෝගීන් 120කට පමණ ප්‍රතිකාර සැළසිය හැකි නමුත් මේවන විට රෝගීන් 116ක් සිටින බවත් ඒ අනුව රෝහලට දැරිය හැකි උපරිම ප්‍රමාණය දක්වා පැමිණ ඇති බව පැහැදිළි කරුණක් බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම දැඩි සත්කාර ඒකක හා අධි සත්කාරක ඒකකවල රෝගීන් ඇඳන් 8 මතම මේවන විට රෝගීන් සිටින බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ තවත් ආසාදිතයින් රැසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන ඒමට නියමිතව ඇති බවයි.

වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් රැසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම ප්‍රමාදවීම මත මේවන විටත් නිවෙස්වල රැඳීසිටින බවයි ඔහු සඳහන් කළේ.

error: Content is protected !!