‘සති දෙකක් හෝ මාසයක් රට ලොක්ඩවුන් කළ යුතුමයි’ – වෛද්‍ය මුදිත අබේකෝන්

කොවිඩ් 19 වෛරසය වාතය හරහා පැතිරීමක් සිදු වුව හොත් එය වළක්වා ගැනීම අතිශය අසීරු බව, කෑගල්ල මහ රෝහලේ, ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් පවසනවා.

වෛද්‍ය මුදිත අබේකෝන් (Image: Adaderana)

රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මේවන විට වෛරසය සමාජගත වී අවසන් බවයි.

එමෙන්ම මෙරට රෝහල් වෙත කොවිඩ් 19 ආසාදිතයින් ඇතුළත්කර ගත හැකි මුලු ධාරිතාවය සම්පූර්ණ වීමට ඉතා ආසන්න බව ඔහු අනාවරණය කරනවා.

මෙම කරුණු පිළිබඳ සළකා බලා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට නම් රට වසා දැමිය යුතු බවත් (ලොක්ඩවුන්), එය හැර වෙනත් කිසිදු ක්‍රමවේදයක් නොමැති බවත් මුදිත අබේකෝන් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

අඩුම ගණනේ සති දෙකක්/මාසයක් රට වසා දැමිය යුතු බවත් ඒ අතරතුර රෝහල් සූදානම් කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රටම වසා දැමීම පිළිබඳ කිසිදු තීරණයක් මේවන තෙක් රජය ගෙන නැහැ.

මේ අතර මෙතෙක් දිවයිනෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා.

එම ගණන සටහන් වූයේ 1531 ලෙසින්.

නව කොවිඩ් මරණ 6ක් ද අලුතින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ ගණන 667ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

error: Content is protected !!