අපිට විදින්න යන චීන එන්නත

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ Sinopharm සමාගම විසින් නිපදවන Sinopharm (සයිනොෆාම්) එන්නත භාවිතයට අවසර ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබෙනවා.

ඒ හදිසි භාවිතය සඳහා යි.

මෙතෙක් කල් අදාළ එන්නතට WHO අවසරය ලැබී තිබුණේ නැතත් චීනය විසින් එරට ජනතාව වෙත එය ලබා දෙනු ලැබුවා.

එමෙන්ම වෙනත් රටවල්වලට ද මෙම එන්නත ලබා දීමට චීනය ක්‍රියා කළ අතර ඇතැම් රටවල් සිය ජනතාවට එය එන්නත්කරණය කළත්, WHO අවසරය ලැබී නොතිබුණු හෙයින් තවත් රටවල් සිය වැසියන් වෙත එය ලබා දීමට මැළිකමක් දැක්වූවා.

ශ්‍රී ලංකාව වෙත ද Sinopharm එන්නත් තොගයක් චීනය විසින් එවා තිබූ අතර මෙරට වෙසෙන චීන ජාතිකයින් වෙත එය ලබා දීමට යි පියවර ගැණුනේ.

Sinopharm එන්නත වෙත WHO අවසරය ලැබුණු සැණින් ඉතිරි එන්නත් තොගය ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට කටයුතු කරන බවයි මෙරට රජයේ පාර්ශවයෙන් නිවේදනය කෙරුණේ.

ඒ අනුව මේවන විට WHO අවසරය Sinopharm එන්නත වෙත ලැබී ඇති පසුබිමක එම එන්නත මෙරට ජනතාව වෙත ලබා දීම සඳහා මේවන විටත් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට මෙම එන්නත ලබා දිය හැකි බවත් ඒ සඳහා මාත්‍රා දෙකක් භාවිත කළ යුතු බවත් Sinopharm සමාගම නිර්දේශ කරනවා.

Sinopharm යනු මෙතෙක් WHO අවසරය ලද 6 වැනි කොවඩ් 19 මර්ධන එන්නතයි.

එමෙන්ම බටහිර නොවන කොවිඩ් 19 එන්නතකට WHO අවසරය ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකෙනවා.

මියගිය කොවිඩ් 19 වෛරස Sinopharm එන්නතෙහි අන්තර්ගතවන අතර එය එන්නත්කරණය කිරීමෙන් කොවිඩ් රෝගය වැළඳීමක් සිදු නොවන්නේ එම වෛරස ජීවී තත්ත්වයේ නොපවතින හෙයින්.

කෙසේ වෙතත් මිනිස් සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට මියගිය කොවිඩ් 19 වෛරසය හඳුණාගැනීමට හැකිවන අතර  එය මර්ධනය කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවීම හරහා ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීමට සිරුරට හැකිවනවා.

ප්‍රතිශක්තිය ගොඩනැගීමෙන් අනතුරුව ජීවී තත්ත්වයේ පවතින කොවිඩ් 19 වෛරසයක් ශරීරගත වුව ද එය මර්ධනය කිරීමේ හැකියාව සිරුරට ලැබීම මගින් Sinopharm එන්නත ක්‍රියාකරනු ලබනවා.

මින් පෙර කරළියට ආ එන්නත් මෙන් නොව Sinopharm එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කිරීමට හැකියාව පවතින බැවින් එය විශේෂ වාසියක් ලෙස දැක්විය හැකියි.

විශේෂයෙන් උෂ්ණාධික රටවල්වලට සහ ඉතා පහළ උෂ්ණත්වයක් සළසාගැනීම සඳහා පහසුකම් නොමැති රටවල්වලට මෙය ඉතාමත් වැදගත්.

Sinopharm සමාගම පවසන්නේ සිය එන්නත 79%ක් සාර්ථක බවයි.

කෙසේ වෙතත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් Sinopharm එන්නත විශ්වාස නොකරන පසුබිමක සිටින්නේ දේශපාලන අරමුණකින් බව පුවත් විශ්ලේෂකයින් පවසනවා.

නව ලෝක බලවතා බවට පත් වීමේ මාර්ගයට එළඹ සිටින චීනය කොවිඩ් 19 මර්ධනය සඳහා වූ එන්නතකින් ද ඉදිරියට පැමිණියහොත් එය තමන්ට අවාසිසහගත විය හැකි නිසා එම රටවල් එලෙස කටයුතු කරන බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා ඉඟි පළ කරනවා.

මේවන විටත් Sinopharm එන්නත චීනය සහ තවත් රටවල් රැසක ජනතාව වෙත ලබා දී ඇති අතර විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් දුප්පත් රටවල් රැසක රජයන් විසින් මෙය සිය ජනතාව වෙත ලබා දීමට කටයුතු කර තිබුණා.

අප්‍රිකා, දකුණු ඇමරිකානු සහ ආසියානු මහාද්වීපයේ රටවල් ඉන් ප්‍රධානයි.

error: Content is protected !!