ලංකාවට ඇතුළු වූ ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ඇත්තටම භයානකද?

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ මේවන විට ඉන්දියාව පත්ව ඇති තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. ඉන්දියාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම අතරතුර එරටින් හඳුනාගත් නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය පිළිබඳව ද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ද්විත්ව විකෘති වෛරස ප්‍රභේදයක් ලෙස හැඳින්වෙන මෙය “ඉන්දීය ප්‍රභේදය” ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වුවත්, එය විද්‍යාත්මකව නම් කොට ඇත්තේ B.1.617 ලෙසින්. දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයේ දක්නට ලැබුණු විකෘතියත්, බ්‍රසීල වෛරස ප්‍රභේදයේ දක්නට ලැබුණු විකෘතියත් යන දෙකම මෙම ඉන්දීය ප්‍රභේදය තුළ දක්නට ලැබීම නිසායි මෙය ද්විත්ව විකෘති ප්‍රභේදයක් ලෙස හැඳින්වෙන්නේ.

මෙම වෛරස ප්‍රභේදය ප්‍රථමයෙන්ම හමු වූ රට ඉන්දියාව වුවත්, මේවන විට එය රටවල් රැසකට පැතිරී අවසන්. එය ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ඇති බව පසුගිය දිනවල පුවත් වාර්තාවලින් අනාවරණය වූවා.

කොවිඩ් 19 වෛරසය මත ප්‍රෝටීනවලින් තැනුනු උල් වැනි ව්‍යුහයන් පවතින බව අප සැවොම රූපසටහන් මගින් දැක ති‍බෙනවා. මිනිස් සිරුර තුළට ඇතුළු වීමටත් ආසාදනය වීමටත් වෛරසය යොදාගන්නේ මෙම උල් වැනි ව්‍යුහයන්. ඉන්දීය ප්‍රභේදයේ වෛරස තුළ මෙම උල් ව්‍යුහයන් විකෘති වී ඇති බැවින් ඉතා ඉක්මනින් සිරුරට ඇතුළු වී ආසාදනය වීමටත්, සිරුර තුළ අලුතෙන් නිපදවෙන වෛරස ඉක්මනින් සිරුර පුරා පැතිරයාමත් සිදුවන බව පැවසෙනවා.

එමෙන්ම මෙම විකෘතිබව නිසාම ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් නිපදවෙන ප්‍රතිදේහ මගහැර යාමටත් මෙම වෛරසයට හැකියාව ලැබී ඇති බවයි පුවත් වාර්තා පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය මත මින් පෙර කොවිඩ් 19 ආසාදනය වී එමගින් ප්‍රතිහේද සෑදී ප්‍රතිශක්තිකරණයක් ඇතිවුණු පුද්ගලයින්ට මෙන්ම එන්නත් ලබාගැනීම මගින් ප්‍රතිශක්තිකරණය ඇතිකරගත් පුද්ගලයින්ට ද නව ඉන්දීය ප්‍රභේදය ආසාදනය වීමේ හැකියාව ඇතැම්විට පැවැතිය හැකි බවට විශේෂඥයින් බිය පළ කරනවා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රධාන පෙලේ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව තුළ හටගෙන ඇති දරුණු තත්ත්වයට මෙම නව B.1.617 ඉන්දීය ප්‍රභේදය ඍජුවම බලපා නොමැති බවට යි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙම නව ප්‍රභේදය භයානක එකක් සේ සළකා, ඒ පිළිබඳ නිසි අවධානයක් මෙතෙක් යොමු කොට නොමැති බවයි පෙනී යන්නේ.

එහෙත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් මෙතෙක් හමුව ඇති රෝගීන් ගෙන බැලූ විට ඉන් 60%ක්ම නව ඉන්දීය ප්‍රභේදය ආසාදනය වූවන් බවට වූ සංඛ්‍යාලේඛන හුවා දක්වන බොහෝ පර්යේෂකයින් අවධාරණය කරන්නේ මෙම නව ඉන්දීය ප්‍රභේදය කොතරම් භයානක ද යන්න පිළිබඳව තවත් උදාහරණ අවැසි නොමැති බව යි. එමෙන්ම ඉන්දියාව තුළ ආසාදිතයින්ගේ වර්ධනය, නිල වාර්තාවලට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බැවින් ඉන්දීය ප්‍රභේදය පිළිබඳ සුළු කොට තැකිය නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

error: Content is protected !!